නිදහස ලැබූ තරුණයන් භාර දී නැහැ- මනෝ ගනේෂන්

මනෝ ගනේෂන් Image copyright dpf

කොටි සංවිධාන සාමාජිකයන් ලෙස චෝදනා ලබන පිරිස් පුනරුත්ථාපනය කොට නිදහස් කරනු ලැබීමෙන් අනතුරුව ඔවුන් ගේ දෙමාපියන්ට භාර නොදීමේ අවස්ථා තමන්ට දැනගන්ට ලැබී ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් කියා සිටී.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවැති උත්සවයකදී නිදහස් කරන ලද බව පැවසුණු තරුණයන් තිදෙනකු මේ තාක් ආපසු භාර දී නැතැයි දෙමාපියන් වෙතින් දැනගන්ට ලැබුණු බව මනෝ ගනේෂන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බීබීසී යට ප්‍රකාශ කළේය.

තරුණයන් නිදහස් කරන බව දැක්වෙන ඡායාරූප පුවත් පත් වල පළවීමෙන් අනතුරුව දෙමාපියන් කොළඹට පැමිණ තමන්ගේ දරුවන් ගැන බලධාරින් ගෙන් විමසු නමුත් නිසි පිළිතුරක් නොලද බවයි හිටපු මන්ත්‍රීවරයා කියා සිටින්නේ.

හර්බට් මොරිනෝ ලියොන් ට්‍රොට්ස්කි, ඇන්ටන් හඩ්සන් ලොරෙන්ටෙන් සහ මුරුගානන්දන් මුරුගේසු නම් මේ තරුණයන් තිදෙනා අරලිය ගහ මන්දීරයේ පැවැති උත්සවයට සහභාගි වන ආකාරය පුවත් පත් වල පළ වූ ඡායාරූප වල දක්නට ලැබුණු බව හිටපු මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.

"මේ දෙමාපියන් රහස් පොලිසියට සහ හමුදා මූලස්ථානයට ගිහින් විමසීම් කරලා තියෙනවා. ඒත් සාර්ථක පිළිතුරක් ලැබිලා නැහැ," යැයි මනෝ ගනේෂන් ප්‍රකාශ කළේය.

මේ වැනි තවත් සිදුවීම් තිබිය හැකි බවයි මනෝ ගනේෂන් පෙන්වා දෙන්නේ.

නිදහස් කරනු ලැබූ සියලුම දෙනා දෙමාපියන් හට භාර දී ඇති බව පුනරුත්තාපනය කටයුතු භාර බ්‍රිගේඩියර් දර්ශන හෙට්ටිආරච්චි කියා තිබුණි.

බීබීසී ය මේ ගැන යලිත් විමසු විට බ්‍රිගේඩියර්වරයා කියා සිටියේ මේ පිළිබඳව තමන් වැඩි දුර හොයා බලන බවයි.