ෆොන්සේකාට මන්ත්‍රී ධුරය දීම‍ට සුදානම් - කැටගොඩ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට ඇප ලබා දීමට කොලඹ මහා අධිකරණය තීන්දු කොට තිබේ.

හමුදාව අතහැර ගිය පිරිස් නීති විරෝධී ආකාරයට සේවයේ යොදවා ගැනීම සම්බන්ධයෙන් සරත් ෆොන්සේකාට එරෙහිව මේ නඩුව ගොනුකර තිබුණි.

මේ නඩුව සඳහා ඇප ලබා දී ඇතත් තවත් නඩු දෙකක් ඇති හෙයින් හිටපු හමුදපති වරයාට තව දුරටත් බන්ධනාගාර ගතව සිටීමට සිදුව ඇත.

නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ අනෝමා ෆොන්සේකා කියා සිටියේ, සරත් ෆොන්සේකා නිදහස් කරන බව ජනාධිපතිවරයා කියා සිටියත් වැඩි විස්තර තවමත් නොදන්නා බවයි.

සරත් ෆොන්සේකාට යළිත් තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබා ගත හැකිද යන්න පැහැදිළි නැත.

සරත් ෆොන්සේකාගේ පාර්ලිමේන්තු අසුන අහිමි වීමත් සමග ඔහු වෙනුවෙන් පාර්ලිමේන්තුවට පත් කෙරුණු ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා බී බී සි සංදේශයට අදහස් දක්වමින් කියා සිටියේ නීතිමය බාධාවක් නැති නම් තමා ඉතා කැමැත්තෙන් හිටපු හමුදපති වරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබාදෙන බවයි.

"මුදලට මන්ත්‍රීධුර අලෙවි වන මෙවැනි වකවානුවක මන්ත්‍රී ධුරය හිමි අයට එය ලබා දිය හැකි නම් එය දේශපාලන ප්‍රවාහයට ආදර්ශයක් වේවි" යැයි ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා පැවසීය.

නිදහස ලැබීමෙන් අනතුරුව සරත් ෆොන්සේකා ක්‍රියාකාරී දේශපාලනයේ නිරත විය යුතු යැයි තමන් විස්වාශ කරන නමුත්, කවර පක්ෂයක් සමග කටයුතු කළ යුතු දැයි මේ තාක් තීරණය කොට නැති බව කැටගොඩ මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.