යුද අපරාධ පරීක්ෂණයකට සහාය දිය යුතුයි - සරත් ෆොන්සේකා

බී. බී. සී. සංදේශයේ එල්මෝ ප්‍රනාන්දු සමග කථා කළ සරත් ෆොන්සේකා
Image caption බී. බී. සී. සංදේශයේ එල්මෝ ප්‍රනාන්දු සමග කථා කළ සරත් ෆොන්සේකා

ශ්‍රී ලංකාවේ සිදුවුණු බව කියවෙන යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා රජයේ සහයෝගය ලබා දිය යුතු බව හිටපු හමුදාපති වරයා බී. බී. සී. යට ප්‍රකාශ කර සිටියි.

රටේ සමහර නායකයන් යුද්ධය සිදු කැරුණු ආකාරය පිළිබඳ යථාර්ථයට මුහුණ නොදී, සැඟවීමට උත්සාහ දරමින් සිටින බවද, යුද්ධයේ ප්‍රධාන අණ දෙන නිලධාරීන් ගෙන් අයෙක් වන හිටපු හමුදාපති වරයා ප්‍රකාශ කළේය.

බන්ධනාගාරයෙන් නිදහස් වීමෙන් පසු බී. බී. සී. සංදේශයේ එල්මෝ ප්‍රනාන්දු සමග ප්‍රථම සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් අදහස් පල කළ සරත් ෆොන්සේකා, රටේ සමහර නායකයන් හැසිරෙන ආකාරයෙන් ඔවුන් යම් අපරාධයකට වරදකරුවන් ලෙස හැගී යන බවයි කියා සිටියේ.

යුද්ධයේ අවසාන අදියරේ දී සාමාන්‍ය වැසියන් දහස් ගණනක් මියගිය බවට එල්ලවී ඇති චෝදනා ද ඔහු ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රී ලංකාව තුළ පවතින "දුෂිත දේශපාලන සංස්කෘතිය" ලෙස ඔහු හැදින් වූ, ප්‍රවණතාවයට එරෙහිව ක්‍රියා කිරීම තම අරමුණ බව ද හිටපු හමුදාපති වරයා කියා සිටියේය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විපක්ෂය එක්සත්ව ක්‍රියා කිරීම වැදගත් බව පැවසූ ඔහු, එහි නායකත්වයට කවුරුන් පත්විය යුතු ද යන්න නොවැදගත් කරුණක් බවයි අවධාරණය කරන්නේ.

තම නිදහස පිළිබඳ නීතිමය ලියකියවිලි තවමත් දැක නැති බව ප්‍රකාශ කළ හිටපු හමුදාපතිවරයා, ඉදිරියේදී දේශපාලනයේ නිරතවීමට අවසර තිබේද යන්න තවමත් පැහැදිලි නැතැයි ද සඳහන් කළේය.

විපක්ෂයේ නායකත්වයට පත් කෙරුණහොත් එම තනතුර භාර ගන්නවා ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කියා සිටියේ එම තනතුර ලැබුනොත් ප්‍රතික්ෂේප නොකරන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර