සර්ව පාක්ෂික සාකච්ඡා බොරුවක්- සෝමවංස අමරසිංහ

ජනතා  විමුක්ති පෙරමුණ Image copyright jvp
Image caption ජනතා විමුක්ති පෙරමුණ

ජාතික ගැටලුව නිරාකරණය සඳහා වූ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු තේරීම් කමිටුවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගි නොවන බව නායක සෝමවංස අමරසිංහ කියා සිටියේය.

" මේක බොරුවක්, වෙන වෙන උවමනා පිටිපස්සේ තියාගෙන මේ බොරුවට ජනතාවට පෙනෙන්නයි සාකච්ඡා කරන්නේ" යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ප්‍රකාශ කළේය.

මීට පෙර සර්ව පාක්ෂික සකච්ඡා රැසක් පවත්වා ඇති හෙයින් මේ ගැන තවදුරටත් සාකච්ඡා කිරීම අර්ථ විරහිත බව සෝමවංස අමරසිංහ ප්‍රකාශ කළේය.

සමාජ අසමානතාව තුරන් නොකර ජාතික ගැටලුව නිරාකරණය කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියා සිටියේය.

මේ සමාජ ක්‍රමය පත්ව ගෙන යාමට කැපවී සිටින කිසිදු පක්ෂයක් පාඩම් ඉගෙන ගැනීමට සුදානම් නැති බව පෙන්වා දුන් අමරසිංහ මහතා කියා සිටියේ ජාතික ගැටලුව නිරාකරණය සඳහා යටත් විජිත සමයේ පටන් වූ බලපෑම් ගැන සොයා බැලිය යුතු බවයි.

ජාතික ගැටලුව නිරාකරණය සඳහා වූ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු තේරීම් කමිටුව කැඳවීම සඳහා න්‍යාය පත්‍රයක් යෝජනා කරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට මේ වන විට දන්වා ඇති අතර කමිටුව සඳහා නම් කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නම් ලැබුන විගස සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කමිටුවේ වැඩකටයුතු ආරම්භ කල හැකි බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට තම ප්‍රතිචාරය පල කල සභා නායක නිමල් සිරිපල ද සිල්වා ඇමති වරයා ප්‍රකාශ කොට ඇත.