ඊපීඑෆ් මුදල් නීතියෙන් පරිබාහිර කාර්යයන් සඳහා 'යෙදවීමෙන් වලකින්න'

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයන්ට අයත් සේවක අර්ථ සාධක අරමුදලේ තැන්පත් මුදල් නීතියෙන් පරිබාහිර කාර්යයන් සඳහා යෙදවීමෙන් වලකින ලෙස ශ්‍රේෂ්ටාධිකරණය එහි පාලක අධිකාරියට නියෝග කර තිබේ.

එම මණ්ඩලයේ සේවකයන් පිරිසක් විසින් ගොනුකළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව ලබන මස 10 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි අදාල නියෝගය නිකුත් කෙරිණ.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයන්ගේ වැටුපෙන් අය කරගත් අර්ථ සාධක අරමුදල් විශ්‍රාම යන සේවකයන්ට පාරිතෝෂික දීමනා ගෙවීමට සහ බස් රථ නඩත්තුව වැනි කටයුතු සඳහා යොදවන බව පෙත්සම්කාර පාර්ශවය අධිකරණය හමුවේ කියා සිටියේය.

අර්ථ සාධක අරමුලේ ආඥා පනතට අනුව අර්ථ සාධක අරමුදල මෙවැනි සඳහා යෙදවීමට නීතිමය හිමිකමක් නොමැති බව පෙන්වාදුන් පෙත්සම්කරුවෝ එහි ප්‍රථිපලයක් ලෙස රුපියල් බිලියන හතරකට ආසන්න මුදලක් අනතුරට පත්වීමේ අවදානමක් පවතින බව අධිකරණයට දන්වා සිටියහ.

මේ තත්ත්වය පිළිබඳව පූර්ණ විමර්ශනයක් අවශ්‍ය බව තීන්දුකළ ශ්‍රේෂ්ටාධිකරණය ඒ අනුව අදාළ අරමුදල වෙනත් කාර්යයන් සඳහා යෙදවීමෙන් වලකින මෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ පාලන අධිකාරියට නියෝග කළේය.

මෙම නඩු විභාගය සඳහා කරුණු දක්වන මෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිළධාරියා වෙත මීට පෙර නොතීසි නිකුත් කර තිබුනද ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම විමතියට කරුණක් බව විනිසුරුවරු ප්‍රකාශ කළහ. ඒ අනුව එම නිළධාරියාට ලබන මස 10 වැනිදා පෙනී සිටින මෙන් නියෝග කළ ශ්‍රේෂ්ටාධිකරණය එදිනට වැඩිපුර නඩු විභාගය පැවැත්වෙන බව නිවේදනය කළේය.