නවී පිල්ලේගේ ඉල්ලීමට 'තවම ප්‍රතිචාරයක් නෑ'

Navi Pillai
Image caption මානව හිමිකම් මණ්ඩලය එම ඉල්ලීම සිදු කොට ඇත්තේ මාර්තු මාසයේ ජිනීවා නුවර මුළු දුන් 18 වැනි වාර්ෂික සැසි වාරයෙන් අනතුරුවයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදීම සඳහා කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙන් රජයෙන් තවමත් ප්‍රතිචාරයක් ලැබී නැතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ප්‍රකාශ කරයි.

මානව හිමිකම් මණ්ඩලය විසින් එම ඉල්ලීම සිදු කොට ඇත්තේ මාර්තු මාසයේ ජිනීවා නුවර මුළු දුන් 18 වැනි වාර්ෂික සැසි වාරයෙන් අනතුරුවයි.

එම සැසි වාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ සම්බන්ධයෙන් වැඩි ඡන්දයෙන් සම්මත කැරුණු යෝජනාවකින් කියැවුනේ ඒ පිලිබඳ පරීක්ෂණ පැවැත්වීමට මානව හිමිකම් කොමිසම රජයට සහාය දිය යුතු බවයි.

රජය විසින් පත් කරන ලද උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ වාර්තාවේ නිර්දේශ එම පරීක්ෂණ වලට පදනම් කර ගත යුතු බවයි, ඉන්දියාවේද සහාය ලැබුණු එක්සත් ජනපදය විසින් ගෙන එනු ලැබූ එකී යෝජනාවෙන් ප්‍රකාශ වුනේ.

මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා රජයෙන් අවසර පතා ඇත්තේ ඒ අනුවයි.

බීබීසී සංදේශය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් වරියගේ ප්‍රකාශක රූපට් කොල්විල් (Rupert Colville ) කියා සිටියේ රටට ඇතුළුවීම සඳහා තමන් රජයේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර