එල්ටීටීඊ අරමුදල් රැස්කිරීම ගැන ස්විට්සර්ලන්ත පරීක්ෂණයක්

LTTE logo
Image caption අරමුදල් රැස්කිරීම වෙනුවෙන් 'ඉතා ශක්තිමත් පිරමීඩ ව්‍යුහයක් එල්ටීටීඊ සාමාජිකයන් විසින් ස්විට්සර්ලන්තයේ ගොඩනගා තිබේ'

දෙමළ විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ ය) වෙනුවෙන් අරමුදල් රැස්කළ බව පැවසෙන ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් පිරිසක් පිළිබඳව නෙදර්ලන්තයේදී සහ ශ්‍රී ලංකාවේදී පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කොට තිබෙන බව ස්විට්සර්ලන්තයේ නීතිපති කාර්යාලය පවසයි.

කප්පම් ගැනීම, බලහත්කාරයෙන් මුදල් එක්රැස් කිරීම, කළු සල්ලි ජාවාරම, අපරාධකාරී කණ්ඩායමක සාමාජිකයෙකු වීම, ව්‍යාජ ලිපිලේඛන සකස් කිරීම සහ මූල්‍ය වංචා යන චෝදනා යටතේ සැකකරුවන් 13 දෙනෙකුට එරෙහිව 2009 වසරේ සිට පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බව ස්විට්සර්ලන්තයේ නීතිපති කාර්යාලයේ ප්‍රකාශිකා ජෙනට් බාමර් බීබීසී දෙමළ සේවයට කියා සිටියාය.

මෙම සැකකරුවන් පිරිස එල්ටීටීඊ සාමාජිකයන් බව පවසන ඇය, ස්විට්සර්ලන්තයේ වෙසෙන දෙමළ ජාතිකයන් ගෙන් බලහත්කාරයෙන් මුදල් එකතු කිරීම සහ ව්‍යාජ ලිපිලේඛන යොදාගෙන බැංකුවලින් ණය මුදල් ලබාගැනීම ඇතුළු චෝන්දනා ඔවුන්ට එරෙහිව එල්ල වී තිබෙන බවද සඳහන් කළාය.

එසේ එක්රැස් කරන ලද මුදල් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වැසියන් ට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීමට උපකාර කිරීම පිණිස මෙම කණ්ඩායම විසින් යොදා ගන්නට ඇතැයි විශ්වාස කරන බවයි, ප්‍රකාශිකාව පවසන්නේ.

එල්ටීටීඊ සංවිධානයේ යුද්ධය වෙනුවෙන් ස්විට්සර්ලන්තයේ වෙසෙන දෙමළ ජාතිකයන් මෙලෙස ප්‍රබල දායකත්වයක් දක්වා තිබෙන හැඩක් පෙනීයන බවත් ස්විට්සර්ලන්තයේ නීතිපති කාර්යාලය පවසයි.

අරමුදල් රැස්කිරීම වෙනුවෙන් "අනෙක් යුරෝපීය රටවල් හා සමාන ඉතා ශක්තිමත් සහ කාර්යක්ෂම පිරමීඩ ව්‍යුහයක් එල්ටීටී ඊ සාමාජිකයන් විසින් ස්විට්සර්ලන්තයේ ගොඩ නගා තිබෙන," බවද ජෙනට් බාමර් බීබීසී දෙමළ සේවයට එවන ලද ඊමේල් පණිවුඩයක සඳහන් කරන්නීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර