හම්බන්තොට ප්‍රහාරයට ආණ්ඩුවට චෝදනා

 ජනතා විමුක්ති පෙරමුණ

තම පක්ෂ රැස්වීමට ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් පිලිබඳ තොරතුරු ඊට සහභාගී වූ ජනතාව පොලිසියට ලබාදී ඇතත්, මෙතක් කිසිවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී නැතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

හම්බන්තොට ප්‍රදේශයේ ආණ්ඩුවේ දේශපාලකයන්ගේ ආධාර සහ අනුග්‍රහ ලබන පාතාල කණ්ඩායම් විසින් රැස්වීමට පහර දුන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක බි බි සී සංදේශයට කියා සිටියේ.

පසුගිය සිකුරාදා, ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමට වෙඩි තැබීමෙන් කාන්තාවක ඇතුළු දෙදෙනකු මරා දැමුණ අතර තවත් පුද්ගලයකුට තුවාළ සිදුවිය.

පහර දීම සිදු කරන ලද්දේ "ජූලම්පිටිය ප්‍රදේශය භීතියට පත් කරමින්, ඩිෆෙන්ඩර් රථ හතරක නිරන්තරයෙන් සැරිසරමින්, ආණ්ඩුවේ රාජ කුමාරයන්ගේ, මල් කුමාරයාගේ රැකවරණ ලබන, ඔහුගේ ආරක්ෂාව යටතේ ක්‍රියාත්මක වන පුද්ගලයන්" යැයි මන්ත්‍රී වරයා අවධාරණය කළේය.

හම්බන්තොට දේශපාලන නිජභූමිය බවට පත්කරගෙන සිටින රාජ්‍ය නායකයා එම ප්‍රදේශයේ ඔහුට එරෙහිව දේශපාලනය කිරීමට අනෙකුත් දේශපාලන පක්ෂ වලට කිසිසේත් ඉඩ නොදෙන බව සනාථ කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බවයි, ජවිපෙ පවසන්නේ.

ප්‍රහාරකයන් සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීම පොලිසියේ රාජකාරිය වන බවද ඔහු පෙන්වා දුන්නේය.

ජනතා විමුක්ති පෙරමුණ පළාතේ දේශපාලන කණ්ඩායම් වලට ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන නිසා එම කණ්ඩායම් වලින් ප්‍රශ්න කළේද යන පැණයට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සංදේශයට කියා සිටියේ, මාධ්‍ය රැස්වීම වලදී කරන ප්‍රකාශන ඔස්සේ පොලිසිය පරීක්ෂණ නොපවත්වන බවයි.

නිශ්චිත පැමිණිල්ලක් කළහොත් ඒ පිලිබඳ සොයා බලන බවද ඔහු කියා සිටියි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා කණ්ඩායම් හතරක් යොදවා ඇතැයි පැවසූ පොලිස් අධිකාරී අජිත් රෝහණ, මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ විසි අටක් ලැබී ඇතැයිද පැවසීය.

ඉන් එක් ප්‍රකාශයක පමණක් පුද්ගලයෙකුගේ නම සඳහන් වී ඇතැයි සංදේශයට පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ, ලැබී ඇති සියලු තොරතුරු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන බවත්, තවම කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර