බලන්ගොඩ මානවයාගේ සම්පූර්ණ ඇටසැකිල්ලක් හමුවේ

Illustration of Balangoda man in Pahiyanagala Image copyright Wikipedia
Image caption අලුතින්ම හමු වූ සම්පූර්ණ ඇටසැකිල්ල වසර දොළොස් දහසකට වඩා පැරණි යයි විශ්වාස කෙරෙන බවයි, බලධාරීන් පවසන්නේ.

ශ්‍රී ලංකාවේ විසූ ආදිම මිනිසා ලෙස සැලකෙන බලන්ගොඩ මානවයාගේ සම්පූර්ණ ඇටසැකිල්ලක් හමු වූ බව බලධාරීහු ප්‍රකාශ කරති.

පාහියන්ගල සිදුකරන ලද කැනීම්වලදී බලන්ගොඩ මානවයාගේ ඇටසැකිලි මීට කලින්ද හමුවී තිබෙන නමුත්, සම්පූර්ණ ඇටසැකිල්ලක් හමුවූයේ මේ වතාවේ බවයි, ශ්‍රී ලංකා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් පිලිබඳ අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා බීබීසී සංදේශයට කියා සිටියේ.

"ඉහත දී කරන ලද පර්යේෂණවලට අනුව, අවුරුදු තිස් හත් දාහේ සිට අවුරුදු පන්දාහ කාලයට අයත් ජනාවාශ පස් තට්ටු පාහියන්ගලින් ලැබිල තිබෙන," බවද ඔහු සඳහන් කළේය.

ඒ අතරින් අලුතින්ම හමු වූ බලන්ගොඩ මානවයාගේ සම්පූර්ණ ඇටසැකිල්ල වසර දොළොස් දහසකට වඩා පැරණි යයි විශ්වාස කෙරෙන බවයි, ඔහු පවසන්නේ.

ඇටසැකිල්ල හැරුණු විට බලන්ගොඩ මානවයා විසින් භාවිතා කරන ලද ගල් ආයුධ, ඔහු කෑමට ගත් සතුන්ගේ ශේෂ සහ ගස් බෙල්ලන් සහ දිය වැනි ඔහු හුවමාරු කරගත් භාණ්ඩද මෙම කැනීමේදී හමු වූ බවත් ආචාර්ය නිමල් පෙරේරා බීබීසී සංදේශයට පැවසීය.

"ඇත්ත වශයෙන්ම මේ බලන්ගොඩ මානවයා ලුණු ගැන දැනීමක් ඇතිව, මුහුදේ ජලය සමග සෘජු සම්බන්ධතාවයක් තිබුණු බවත් අපට කියන්න පුළුවන්. මුහුදු බෙලි කටුත් හම්බ වෙලා තියෙනවා. ඒ මුහුදු බෙලිකටු අතරේ තියෙනනවා ලුණු බෙල්ලන් කියන කුඩා බෙල්ලන්ගේ කටුත්," ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම ඇටසැකිල්ල තවමත් ගොඩගෙන නොමැති බව පැවසූ ආචාර්ය පෙරේරා, ආරක්ෂා සහිතව එය ගොඩ ගැනීමේ ක්‍රියාවලියේ තමන් දැන් නිරතව සිටින බවද සඳහන් කළේය.

සබැඳි අන්තර්ජාල යොමු

වෙනත් අන්තර්ජාල අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ