ශ්‍රී ලංකා මිරර් කාර්යාලය වටලති

Journalits at Sri Lanka Mirror office describes what happened to UNP parliamentarian Mangala Samaraweera
Image caption 'මෙන්න මේක තමයි ගෝඨාභය රාජපක්ෂගේ මැර ජඩ නීතිය කියල මම පැහැදිලිව කියනවා'

ශ්‍රී ලංකා පොලීසිය විසින් අද දහවල් යාමයේ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියේ කාර්යාලය වැටලීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස වලලා දමා ඇති බවට හොඳම සාක්ෂිය යයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

විසිපස් දෙනෙකුට අධික රහස් පොලිස් නිලධාරීන් පැමිණ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියේ කාර්යාලය වටලා තිබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක බීබීසී සංදේශයට පැවසීය.

වැටලීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මිරර් සහ එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා එක්ස් නිවුස් වෙබ් අඩවිවල සේවය කළ නමදෙනෙකු අත් අඩංගුවට ගත් පොලීසිය එම කාර්යාලයටද සීල් තබා ඇතැයි එහි සේවකයෝ බීබීසී සංදේශයට ප්‍රකාශ කළහ.

කැලුම් ශිවන්ත රුද්‍රිගු, හිමාශි කරුණාරත්න, ශිරන්තිනී මානවඩු, තරිඳු රාජපක්ෂ, අසංක නිවන්ත, ආර් ඩබ්ලිවු ප්‍රේමවතී, සුභාෂ් ජයවර්ධන, සිදික් කාරියප්පා සහ අජිත් සෙනවිරත්නයි, මෙසේ අත් අඩංගුවට ගෙන තිබෙන්නේ.

කාර්යාලයේ තිබූ සියලු පරිගණක ද පොලීසිය විසින් රැගෙන ගිය බවත් සේවකයෝ පවසති.

'රජයට විරුද්ධ දේවල්'

මෙම වැටලීමෙන් අනතුරුව වෙබ් අඩවියේ උපදේශක කර්තෘවරයෙකු ලෙස සේවය කරන රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ නිවසද පොලීසිය විසින් වටලා තිබෙන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

"ලංකාවේ මාධ්‍ය නිදහස වලලා දමල තියෙනවයි කියන එක තමයි මේකෙන් ඔප්පු වෙන්නේ," රවී කරුණානායක මන්ත්‍රීවරයා පැවසීය.

වෙබ් අඩවියේ කාර්යාලය වැටලූ අවස්ථාවේ එහි ලඟාවූ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර වැටලීමට හේතුව විමසූ අවස්ථාවේ පොලිස් නිලධාරියෙක් පැවසුවේ "අද පරීක්ෂා කිරීමේදී රජයට විරුද්ධ යම් යම් දේවල් අපට හෙළිදරවු වුනා," බවයි.

එවිට එයට ප්‍රතිචාර වශයෙන් මන්ත්‍රීවරයා පැවසුවේ අදාළ අඩවි දෙකම විපක්ෂයේ වෙබ් අඩවි බැවින් විරුද්ධ පක්ෂය තිබෙන්නේ ආණ්ඩුවට පක්ෂ දේ වාර්තා කිරීමට නොවන බවයි.

වෙබ් අඩවිවල කර්තුවරුන් ඇතුළු සේවකයන් නමදෙනා දණ්ඩ නීති සංග්‍රහයේ 118/120 වගන්තිය යටතේ අත් අඩංගුවට ගන්නා බව ඉන් අනතුරුව පොලිස් නිලධාරියා පැවසීය.

එයට කෝපාවිෂ්ට ප්‍රතිචාරයක් පලකළ සමරවීර මන්ත්‍රීවරයා "මෙන්න මේක තමයි ගෝඨාභය රාජපක්ෂගේ මැර ජඩ නීතිය කියල මම පැහැදිලිව කියනවා," යනුවෙන් ප්‍රකාශ කළේය.

මෙම වැටලීම පිළිබඳව ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කරන ලද බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි.

සබැඳි අන්තර්ජාල යොමු

වෙනත් අන්තර්ජාල අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ