ශ්‍රී ලංකාවේ පහළොස් දහසක් අතුරුදහන්

Image copyright BBC World Service
Image caption යුද්ධයෙන් තුන් ලක්ෂයකට ආසන්න පිරිසක් අනාථ භාවයට පත්වූ බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසයි.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ප්‍රකාශ කරන අන්දමට, ඉකුත් වසර අවසාන වන විට ශ්‍රී ලංකාව තුල අතුරුදන්වී ඇති සංඛ්‍යාව පහළොස් දහස ඉක්මවයි.

අතුරුදන්ව ඇති 15,780 පිරිස අතරේ බහුතරයක් පිරිමින් වන අතර, ළමුන් 1494 සහ කාන්තාවන් 754 වන බවද මෙම වාර්තාවේ සදහන් වෙයි.

ජිනීවා මුලස්ථානයේ සිට සිය වාර්ෂික වාර්තාව නිකුත් කළ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප්‍රධානී ජාකොබ් කලන්බර්ගර් කියා සිටියේ, ශ්‍රී ලංකාව තුල දහස් ගණනක් ජනතාව පිලිබඳ නිශ්චිත තොරතුරු නැති ඥාතීන් ඔවුන්ගේ ඉරණම නොදැන තවමත් ලතැවෙන බවයි.

රතු කුරුස සංවිධානයේ නවතම වාර්තාවේ දැක්වෙන්නේ පසුගිය වසරේ අවසන් දිනය දක්වා අතුරුදන්වූ අය සෙවීමට ගත් උත්සාහයන් අසාර්ථක වූ බවයි.

යුධ ගැටුම් අවසානයේදී උතුරේ වැසියන් තුන් ලක්ෂයකට ආසන්න පිරිසක් අනාථ භාවයට පත්වූ බව පවසන රතු කුරුස සංවිධානය, එම අනාථයන් යුධ බිමේ සිට පෙරළා පැමිණි අවස්තාවේදී ඔවුන් වෙනුවෙන් අධාර ලබාදීමට ඉඩකඩ නොදීම පිළිබඳව සිය කණස්සල්ල පළකර සිටියි.