මරා දැමුනු සිරකරුගේ සිරුර ගමට නොයැවේ

වවුනියාව සිරගෙදරින් අනුරාධපුර රෝහලට ගෙනා සිරකරුවෙක්
Image caption වවුනියාව සිරගෙදරින් අනුරාධපුර රෝහලට ගෙනා සිරකරුවෙක්

වවුනියාවේ සිරගෙදර බන්ධනාගාර නිලධාරීන් මුදා ගැනීම සඳහා රජයේ සන්නද්ධ අංශ විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් මියගිය දේශපාලන සිරකරුවාගේ මළ සිරුර ගම් පළාතේදී දෙමාපියන්ට භාර දීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කැරිණි.

මිහිදන් කිරීම සඳහා වවුනියාවේදී භාර නොදෙන්නේ නම් මළ සිරුර පිලි ගැනීම ප්‍රතික්ෂේප කරන බව දෙමාපියෝ පොලිසියට දැනුම් දී ඇත.

ගනේෂන් නිමලරූබන් ගේ මරණය පිලිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය බ්‍රහස්පතින්දා සිය නිල මැදිරියේදී පැවැත්වූ මහර මහේස්ත්‍රාත් මාපා බණ්ඩාර විසින් නියෝග කරන ලද්දේ අවසාන කටයුතු මහර දී සිදු කරන ලෙසයි.

මියගිය තරුණයාගේ මළ සිරුර ඔහුගේ ගම් පෙදෙස වන වවුනියාවේ නෙලුක්කුලම වෙත ගෙන යාම සඳහා දෙමාපියන්ට අවසර දීමට විරෝධය පළ කරමින් පොලිසිය ප්‍රකාශ කළේ, එල් ටී ටී ඊ ක්‍රියාකාරකම් වවුනියාව ප්‍රදේශයේ තවමත් පවතින හෙයින් අවමංගල්‍ය කටයුතු කැරෙද්දී කලබලකාරී වාතාවරණයක් ඇතිවිය හැකි බවයි.

මියගිය නිමලරූබන් වවුනියාව බන්ධනාගාරයේ සිරගත කොට සිටියේ විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකයකු බවට සැක කිරීම නිසා.

Image caption සෙනසුරාදා වවුනියාව බන්ධනාගාරය අසල

තමන් රඳවා තබා ගැනීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමකැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිමලරූබන් පෙත්සමක් ගොණු කොට ඇති බව ඔහුගේ දෙමාපියන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වරු බී බී සී යට ප්‍රකාශ කළහ.

මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් නොසතුට පළ කළ වයෝවෘද්ධ රාජේශ්වරී මාතාව හා ගනේෂන් පියා, තම පුත්‍රයාගේ අවසන් කටයුතු සිදු කළ යුතු පිළිවෙත පිළිබඳව අධිකරණය දුන් තීරණය අනුමැතිය කිරීමත් ප්‍රතික්ෂේප කළ බවයි නීතිඥවරු සංදේශයට කියා සිටියේ.

තානාපති වරුන් දැනුවත් කැරේ

මේ අතර දමිළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර බී බී සී දමිළ සේවයට ප්‍රකාශ කළේ පොලිස් අත් අඩංගුවේ පසුවන නිමලරූබන්ගේ දෙමාපියන් ඉන්නා තැනක්ද දැන ගැනීමට නැති බවයි.

බදාදා උදෑසන හයට පමණ බන්ධනාගාර නිලධාරීන් විසින් තමන් වෙත බාර දෙන ලද්දේ නිමලරූබන් ගේ මළ සිරුර බවයි රාගම රෝහල් බලධාරීන් මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කොට තිබුනේ.

කොළඹට ගෙනයනු ලැබූ එල් ටී ටී ඊ සැකකරුවකු ආපසු ගෙන එන ලෙස බල කරමින් වවුනියාව සිරගෙදර සිරකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු මුදා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව සෙනසුරාදා ප්‍රහාරයක් දියත් කොට මහර බන්ධනාගාරයට ගෙන එනු ලැබූ සිරකරුවන් 31 දෙනකු අතුරින් එක් අයෙක් නිමලරූබන්.

රාගම අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් බ්‍රහස්පතින්දා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා නිම කරන ලද බව සංදේශයට කී පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ, නඩු විභාගය මේ මස නව වැනිදා පැවැත්වීමට නියමිත බවයි කියා සිටියේ.

ප්‍රහාර වලට ලක්වී මියගිය ලාංකිකයන්ගේ අවමඟුල් කටයුතු පවුලේ කැමැත්ත පරිදි සිදු කිරීම, අධිකරණය යොදා ගනිමින් වලක්වා ලීමට පොලිසිය මේ වසර තුල දී පියවර ගත් තුන්වැනි අවස්ථාවයි මේ.

රජයේ සන්නද්ධ අංශ විසින් වෙඩි තැබීම නිසා පෙබරවාරියේදී මියගිය හලාවත ඇන්ටනි ප්‍රනාන්දු ධීවරයාගේත්, ඉකුත් මාසයේ කටුවන ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට වෙඩි තබා මරා දැමුනු එදිරිමාන්නලාගේ මාලනී හා නිමන්ත හේෂාන්ගේත් අවසන් කටයුතු පැවැත්වීම සම්ම්බන්ධයෙන්ද පොලිසිය වාරණ නියෝග ලබා ගෙන තිබිණි.