මම තවමත් සිරකරුවෙක් - සරත් ෆොන්සේකා

Sarath Fonseka (file photo)
Image caption 'මගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මට ලැබිල නෑ. මම තවමත්, එක අංශයකින් බැලුවොත් තාම සිරකරුවෙක් තමයි'

ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන් බන්ධනාගාරයෙන් නිදහස් කළත් කිසිදු දේශපාලන අයිතිවාසිකමක් අහිමි තමා තවමත් සිරකරුවෙකු බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසයි.

"ජනාධිපති මැදිහත් වුනේ මාව හිරගෙදරින් එලියට දාල, ඇත්ත වශයෙන්ම කියනවනම් ජනතාවට පේන්න මාව සිරගෙදරින් එලියට දැම්මා. නමුත් මගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මට ලැබිල නෑ. මම තවමත්, එක අංශයකින් බැලුවොත් තාම සිරකරුවෙක් තමයි," හිටපු හමුදාපතිවරයා බීබීසී සංදේශයට පැවසීය.

හමුදා සේවයේ යෙදී සිටියදී ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ බවට හිටපු හමුදාපතිවරයාට එරෙහිව එල්ලවී තිබූ චෝදනාවට ඔහු වැරදිකරු කළ පළමු යුද්ධාධිකරණය, සරත් ෆොන්සේකාගේ සියලු හමුදා නිලතල සහ විශ්‍රාම වැටුප අහිමි කිරීමටද තීන්දු කළේය.

යුද්ධාධිකරණ තීන්දුව

එය සම්පූර්ණ අසත්‍ය චෝදනාවක් බව බීබීසී සංදේශයට පැවසූ සරත් ෆොන්සේකා, තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළේ තම නිර්දෝෂී භාවය සනාථකිරීම සඳහා බවද සඳහන් කළේය.

ඔහුට ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව පෙත්සම සමථයකට පත්කර ගැනීමට රජයේ පාර්ශවය ඉදිරිපත් වනු ඇතැයි පෙත්සම්කාර පාර්ශවයේ විශ්වාසය විය.

කෙසේ වුවත් රජයේ පාර්ශවය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ දිගටම නඩු විභාගය පවත්වන ලෙසයි.

ජනාධිපති සමාවක් ප්‍රදානය කෙරුණත්, යුද්ධාධිකරණ තීන්දු එයින් අවලංගු වී නැති බවක් මෙම ඉල්ලීම මගින් හැඟෙන්නේ නොවේදැයි බීබීසී සංදේශය විමසූ අවස්ථාවේයි, සරත් ෆොන්සේකා ඉහත අදහස් පළකළේ.

පළමු යුද්ධාධිකරණ තීන්දුවට එරෙහිව හිටපු යුද හමුදාපතිවරයා ඉදිරිපත් කොට තිබූ අභියාචනයක් විභාග කළ යුතු බවට රජයේ නීතිඥවරයා කළ ඉල්ලීම පිළිගත් අධිකරණය, එය විභාග කිරීම ලබන ඔක්තෝබර් දෙවැනි දින දක්වා කල් තැබුවේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර