යුද්ධයේදී මළවුන්ගේ තොරතුරු ගෝඨාභය හෙළිකරයි

President Rajapaksa at the ceremony to mark three years since the end of war
Image caption යුද්ධය නිමාවී වසර තුනක් ගතවීම ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය මැයි මාසයේ අනුස්මරණය කළේය

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද අලුත්ම සංඛ්‍යාලේඛනවලට අනුව එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී සාමාන්‍ය වැසියන් 3296 ක් මියගොස් ඇති අතර, එල්ටීටීඊ සාමාජිකයන් 8400 කට සිදුවූ දේ පිළිබඳව තොරතුරු නැහැ.

ඔහු මේ සංඛ්‍යාලේඛණ හෙළිදරවු කලේ මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින ලොවපුරා රටවල ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරුන්, මහා කොමසාරිස්වරුන් සහ කොන්සල්වරුන් ඇතුළු පනහකට අධික රාජ්‍යතාන්ත්‍රිකයන් සහභාගි වූ සම්මන්ත්‍රණයක් අමතමින්.

යුද්ධය ආරම්භයේදී එල්ටීටී ඊයට සාමාජිකයන් 25,000 ක් පමණ සිටි බව පවසන ආරක්ෂක ලේකම්වරයා, එයින් 12,000 ක් පමණ යුද්ධය අවසානයේදී ආරක්ෂක හමුදාවලට භාරවූ බවත් තවත් 4600 ක් සටනේදී මියගිය බවත් ප්‍රකාශ කරයි.

මෙම සංඛ්‍යාලේඛනවලට අනුව එල්ටීටීඊ සාමාජිකයන් 8400 කට සිදුවූයේ කුමක්දැයි ආරක්ෂක ලේකම්වරයා හෙළිකොට නැති බවයි, ඔහුගේ දේශනය උපුටා දක්වමින් ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ වූ වාර්තාව අනුව පෙනී යන්නේ.

අතුරුදහන් වූවන්

එල්ටීටීඊ සාමාජිකයන් බහුතරයක් ඇතුළු 7896 දෙනෙකු යුද්ධයේදී මියගිය බව ආණ්ඩුවේ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද සමීක්ෂණයකදී හෙළිදරවු වූ බවයි, ගෝඨාභය රාජපක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයන් අමතමින් කියා සිටියේ.

මේ අනුව මියගිය අය අතරින් අඩුම තරමින් 3296 ක් සාමාන්‍ය වැසියන් බව ඔහු පිළිගෙන තිබේ.

එමෙන්ම 2635 දෙනෙකු යුද්ධයේදී අතුරුදහන්ව ඇති බව සමීක්ෂණයේදී හෙලිවූ වගයි, ආරක්ෂක ලේකම් රාජපක්ෂ සඳහන් කරන්නේ.

යුද්ධයේදී 7721 දෙනෙකු මරුමුවට පත්ව තවත් 18,479 දෙනෙකුට තුවාල සිදුවූ බවට ප්‍රකාශයට පත් නොවූ එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු සමග සමීක්ෂණයේ දත්ත ගැලපෙන බව පෙන්වාදුන් ඔහු, එක්සත් ජාතීන්ගේ සංවිධානය එම වාර්තාව ප්‍රකාශට පත් නොකිරීම පිළිබඳව කනගාටුව පළකළේය.

මේ හැරුණුවිට යුද්ධයෙන් අනතුරුව යුනිසෙෆ් සංවිධානය විසින් පවත්වන ලද ස්වාධීන සමීක්ෂණයකදී හෙලිවූ දත්තද අනාවරණය කළ ගෝඨාභය රාජපක්ෂ, අතුරුදහන් වූ 2564 දෙනෙකු සොයාදෙන මෙන් එහිදී ඉල්ලීම් ලැබී ඇති බවත්, එයින් 1888 ක් වැඩිහිටියන් වන අතර 676 දෙනෙකු දරුවන් බවත් සඳහන් කළේය.

අතුරුදහන් වූ දරුවන්ගෙන් සියයට හැට හතරක්ම එල්ටීටීඊය විසින් බඳවාගත් දරුවන් යයි දෙමාපියන් සඳහන් කොට තිබූ බවයි, ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ට රාජ්‍යතාන්ත්‍රිකයන් අමතමින් ඔහු කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර