නාම යෝජණා දිනයේම නීති කැඩූ බවට පක්ෂ වලට චෝදනා

ඉදිරි පළාත් සභා ඡන්දය මැතිවරණ කොමසාරිස්වරයා ගේ ප්‍රකාශිත අභිලාෂය පරිදි නිදහස් හා සාධාරණ එකක් කරගැනීම බරපතල අභියෝගයක් වෙනු ඇතැයි මැතිවරණ නිරීක්ෂක සංවිධානයක් අනතුරු අඟවා සිටියි.

බී බී සී සංදේශය හා කතා කළ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටියේ සැප්තැම්බර් 8 වැනිදාට නියමිත නැගෙනහිර, සබරගමුව හා උතුරු මැද මැතිවරණ නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට අවශ්‍ය 'උපරිම පියවර' ගන්නා බවයි.

කෙසේ වෙතත් නාම යෝජණා භාර ගැනීම හමාර වූ 19 වැනි බ්‍රහස්පතින්දාම සියලුම ප්‍රධාන පක්ෂ පාහේ පොලිසිය බලා සිටියදීම මැතිවරණ නීති ප්‍රසිද්ධියේ උල්ලංඝනය කළ බවයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් සංදේශයට කියා සිටියේ.

මැතිවරණ කොමසාරිස් වරයා වෙත බ්‍රහස්පතින්දා ලියන ලිපියකින් කැෆේ සංවිධානය පවසන පරිදි ඡන්ද ලකුණු ප්‍රදර්ශනය කරමින් නීති විරෝධී පෙළපාලි පැවැත්වූ පක්ෂ අතර මුල් තැන ගන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය.

රාජ්‍ය දේපල

ආණ්ඩු පක්ෂය රාජ්‍ය දේපල ද මැතිවරණ නීති උල්ලංඝනයට යොදා ගත් බව කැෆේ සංවිධානය පවසයි.

රත්නපුර දිස්ත්‍රික්කයේත්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ආණ්ඩු පක්ෂ අපේක්ෂකයන් පැවැත්වූ පෙළපාලි වල ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ගමන් කළ බව ද මැතිවරණ කොමසාරිස් වරයාට යවා ඇති ලිපියේ සඳහන්.

තම නිරීක්ෂණ රැගත් ඡායාරුප කැෆේ සංවිධානය ජනමාධ්‍ය වෙත ලබා දී තිබේ.

දේශපාලන පක්ෂ නායකයන්, පොලිස් ප්‍රධානීන් හා මැතිවරණ නිරීක්ෂකයන් සමග මැතිවරණ කොමසාරිස්වරයා පැවැත්වූ සාකච්ඡා වලදී නාම යෝජණා දිනයේ පෙළපාලි වැලක්වීමට 'සාමුහික තීරණයක්' ගත් වග කී රජිත් කීර්ති තෙන්නකෝන් එය බ්‍රහස්පතින්දාම බිඳ වැටීම ඉදිරි මැතිවරණ සමයේ ඡන්ද නීති රැකෙන අයුරු පිලිබඳ දර්ශකයක් වීමේ අවදානමක් ඇති බව පවසයි.

මැතිවරණ පැවැත්වීමට නියමිත පළාත් සභා තුනේ මන්ත්‍රී ධුර 108 සඳහා තරඟ වදින අපේක්ෂක සංඛ්‍යාව 3075 ක්.

ඉන් අඩකට ආසන්න සංඛ්‍යාවක් නාම යෝජණා භාර දී ඇත්තේ නැගෙනහිර පලාතට.