ඔලිම්පික් ආරම්භක සංදර්ශනයට ශ්‍රී ලාංකිකයකුත්

Thayaparan at the Olympic Park
Image caption අට දහසක් රඟන සංදර්ශනයේ දෙවැනි අදියරේ කාර්මික විප්ලවය පිලිබඳ අංශයටයි, දයාපරන් සහභාගි වෙන්නේ

ලන්ඩන් 2012 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක සංදර්ශනයට එක්වීමට ලැබීම ජීවිතයේ ලද මහඟු අවස්ථාවක් බව ශ්‍රී ලාංකික කුලවීරසිංහම් දයාපරන් පවසයි.

ඔලිම්පික් උළෙල ආරම්භ කරමින් ජුලි 27 වැනි දින රාත්‍රියේ පැවැත්වෙන මහා සංදර්ශනයේ රඟ දැක්වීම් වලට අට දහසක පිරිසක් සහභාගි වන අතර, සංදර්ශනයේ දෙවැනි අදියරේ කාර්මික විප්ලවය පිලිබඳ අංශයටයි, දයාපරන් සහභාගි වෙන්නේ.

ශ්‍රී ලංකාවේ වාසය කළ සමයේ ධර්මසේන පතිරාජයන්ගේ 'නාඳුනන පුත්තු' ටෙලි නාට්‍යයේ රඟපෑමේදී ලැබූ අත්දැකීමද තමන්ට මෙහිදී උපකාර වන්නට ඇති බව බීබීසී සංදේශයට කියා සිටි කුලවීරසිංහම් දයාපරන්, පුහුණුවීම් අතරදී තමන්ට වෙනත් ශ්‍රී ලාංකිකයන් හමු නොවූ නමුත් සංදර්ශනයට වෙනත් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධව සිටින්නේද, නැද්ද යන්න පිළිබඳව තමන්ට ස්ථිරව කිව නොහැකි බවද සඳහන් කළේය.

"කොහොම වුනත් මෙතෙන්දි ගොඩක් බැලුවේ රිද්මයට අනුව මගේ අත පය හැසිරවීම කොයිතරම් දුරට හරියට කෙරෙනවද කියල," ඔහු පැවසීය.

ඇමතිවරයා 'සතුටු නෑ'

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ සාම්ප්‍රදායික කෘෂි සමාජයේ සිට කාර්මික විප්ලවයෙන් පසුව බිහිවන නවීන බ්‍රිතාන්‍ය පිලිබඳ ඉතිහාසයටයි, මෙම සංදර්ශනයේ ප්‍රධාන අවධානය යොමුවන්නේ.

Image caption 'අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දේත් එක්ක ගත්තහම අපි එච්චරම සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක නෑ'

එමෙන්ම ජාති, ආගම්, ප්‍රාදේශීය භේදයෙන් තොරව බ්‍රිතාන්‍යය යනු එහි වෙසෙන සියලු දෙනාගේම රට බවත් ඔස්කාර් සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ ඩැනී බොයිල් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සංදර්ශනයේ මූලික තේමාවක්.

මේ අතර සමාරම්භක සංදර්ශනයට සහභාගි වීම සඳහා ලන්ඩනයට පැමිණ සිටින ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ මෙවර ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් තරඟාවලියට තරඟ වදින කණ්ඩායම පිළිබඳව තමන්ගේ සතුටක් නැති බවයි.

"මොකද අපිට ලොකු බලාපොරොත්තුවක් තියන්න අමාරුයි මෙවර එන සාමාජික සංඛ්‍යාවත් එක්ක. අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දේත් එක්ක ගත්තහම අපි එච්චරම සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක නෑ," බවයි, ඇමතිවරයා පවසන්නේ.

"ඉතින් ඒ නිසා අපේ ඉලක්කය, ඊළඟ ඔලිම්පික් තරඟාවලිය තමයි අපේ ඉලක්කය," බීබීසී සංදේශයේ කාර්යාලයට පැමිණි අමාත්‍ය අලුත්ගමගේ වැඩිදුරටත් පැවසීය.

ඔලිම්පික් සමාරම්භක නිල උත්සවය පැවැත්වෙන්නේ නැගෙනහිර ලන්ඩනයේ, ස්ට්‍රැට්ෆර්ඩ්හි අභිනවයෙන් ඉදිකෙරුණ මහා ක්‍රීඩාගාරයේ.

රාජ්‍ය නායකයන් ඇතුළු විශේෂ ආරාධිතයෝ රැසක් ද මෙම උත්සවයට සහභාගි වෙති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර