සරසවි ඇදුරු සටන් සහායට තවත් වෘත්තීය සමිති

රටේ අධ්‍යාපනය වෙනුවෙන් යොදවන මුදල ඉහළ නංවා උගැන්ම ප්‍රමුඛස්තානයක ලා සලකන මෙන් රජයට බල කරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරු දියත් කොට තිබෙන වැඩ වර්ජනයට සහාය පළ කිරීමට තවත් වෘත්තීය සමිති ගණනාවක් එක්වෙයි.

Image caption ශ්‍රී ලංකාවේ වැඩිම කලක් පැවැති සරසවි ඇදුරු සටන

නිදහස් අධ්‍යාපනය ඇරැඹීමෙන් පසු ලංකාවේ දීර්ඝතම කාලයක් පැවැති සරසවි ඇදුරු සටන සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් දැක්වීම පමා කිරීම මගින් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් වෙහෙසට පත් කිරීම රජයේ උපාය වේ නම්, එය සාර්ථක වන්නේ නැති බවයි , විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් ගේ සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ.

ජනපති සොයුරු බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සරසවි ඇදුරු සංගමය සමග අගෝස්තු පළමු වැනිදා පැවැත්වූ සාකච්ඡා පිළිතුරක් නොලබාම හමාර වූ බව පෙන්වා දුන් ආචාර්ය දේවසිරි , විසඳීමක් සඳහා 'බැරෑරුම් මැදිහත් වීමක්' අවශ්‍ය බව දෙපාර්ශවයේම පිළිගැනීම වූ බවත් ප්‍රකාශ කළේය .

නිදහස් අධ්‍යාපනය 'කප්පාදු කිරීමක්'

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් යොදවනු ලබන්නේ රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට දෙකටත් අඩු මුදලක් බවත්, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමාණය වන සියයට හය දක්වා එය ඉහළ නො නැංවීම නිසා දෙමාපියනට අමතර වියදමක් දරන්නට සිදුවී ඇති බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

"නිදහස් අධ්‍යාපනය ක්‍රමානුකුලව කප්පාදු කිරීම නිසා සාමාන්‍ය වැටුප් ලබන ශ්‍රමිකයන්ට අද වැඩිම මුදලක් වැය කරන්නට සිදුවී ඇත්තේ තම දූ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා," බවයි ජෝසප් ස්ටාලින් කියා සිටියේ.

Image caption පෙත්සමට ලක්ෂයකට ආසන්න අත්සන්

අධ්‍යාපනයට යොදවා ඇති මුදල කොපමණ සීමිතද යන්න ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ උදාහරණ මගින් පැහැදිලි කළේ සංඛ්‍යා ලේඛන ගෙනහැර දක්වමින්.

රටේ පාසල් අතරින් තුනෙන් පංගුවකට ආසන්න ප්‍රමාණයකට වැසිකිළි හෝ පුස්තකාල පහසුකම් නොමැති බව පැවසු මහින්ද ජයසිංහ, පරිගණක තිබෙන පහෙන් එකක් පමණ වූ පාසල් අතුරින් අන්තර්ජාල පහසුකම් ඇත්තේ 6.4% කට පමණකැයි ද සඳහන් කළේය.

විවිධ අංශ අතර සාකච්ඡා

සරසවි ඇදුරු සටන පිළිබඳව අද කොළඹ දී මාධ්‍යවේදියකු නැඟූ පැණයකට පිළිතුරු දෙමින් අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා කියා තිබුණේ, විවිධ අංශ අතර සාකච්ඡා පැවතියත් රජය විසඳීමකට එළඹ නැති බවයි.

අධ්‍යාපනයට නිසි තැන දිනා ගැනීමට දියත් කොට ඇති සටනේ ඉල්ලීම් ඉටු කරන ලෙස රජයට බල කැරෙන පෙත්සමට මේ වනවිට අත්සන් කොට ඇති මහජනතාව ලක්ෂයකට ආසන්න බව විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ප්‍රකාශ කරයි.