අධ්‍යාපන අයිතිය රැකීමට නව ව්‍යවස්ථා සංශෝධනයක්

School children in Sri Lanka Image copyright Udesh Gunarathna Presidential Media Unit
Image caption අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතු වී තිබෙන අර්බුදයට විසඳුම් සෙවීම සඳහායි, මෙම රැස්වීම කැඳවා තිබුණේ

ශ්‍රී ලංකාවේ දරු පරපුරට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ව්‍යවස්ථාවට නව සංශෝධනයක් ඉදිරිපත් කළ යුතු බවට විද්වත්තු, අධ්‍යාපනවේදීහු, වෘත්තීය සමිති ක්‍රියාධරයෝ සහ දේශපාලන පක්ෂ යෝජනා කරති.

විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ කැඳවීම මත පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකට රැස්වූ එම පිරිස, අධ්‍යාපනය ලැබීමේ අයිතිය බල නොකළ හැකි අයිතියක් යන්න අධ්‍යාපනය ලැබීමේ අයිතිය නීතියෙන් බල කළ හැකි තීන්දුවක් බවට පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට විසි වැනි සංශෝධනය ඉදිරිපත් කළ යුතු බවට වූ යෝජනාවකට අනුමැතිය පළකළහ.

පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ ප්‍රතිඵල සම්බන්ධයෙන් මතුව තිබෙන අර්බුදය සහ මාසයකට ආසන්න කාලයක් දිග ඇදෙන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ වැඩ වර්ජනයට විසඳුම් දීමට ආණ්ඩුව අපොහොසත්වීම හමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතු වී තිබෙන අර්බුදයට විසඳුම් සෙවීම සඳහායි, මෙම රැස්වීම කැඳවා තිබුණේ.

Image copyright Udesh Gunarathna Presidential Media Unit
Image caption සුදුසුකම් නැති ගුරුවරුන් විදුහල්පතිවරුන් ලෙසින් සහ නිලධාරීන් ලෙසින් පත්කරන බවට ඇමතිවරයාට ද චෝදනා එල්ල විය

පුද්ගලික මන්ත්‍රීවරයෙකු ගේ යෝජනාවක් ලෙසින් එම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඉදිරිපත් කළ යෝජනාවට රැස්ව සිටි පිරිසේ ඒකමතික අනුමැතිය පළවිය.

රැස්වීමේ දී අදහස් දැක්වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි පැවසුවේ විශ්ව විද්‍යාලවල තිබිය යුතු ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවයි.

"විශ්ව විද්‍යාලවල ස්වාධීනත්වය සහ ශාස්ත්‍රීය නිදහස බරපතල ලෙස උල්ලංඝණය කිරීමේ ක්‍රියාවලියක් දක්නට ලැබෙනවා," ඔහු පැවසීය.

වත්මන් ආණ්ඩුව ජනතා ප්‍රශ්නවලට සවන්දීමක් දකින්නට නොලැබෙන බව පැවසූ කීනියාවල පාලිත හිමියෝ, සාමාන්‍යයෙන් ලෙහෙසියෙන් එක ස්ථානයකට එකතුකළ නොහැකි පිරිසක් එම රැස්වීමට පැමිණ සිටීම අගය කළහ.

අදාළ ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීම පිණිස කමිටුවක් පත්කෙරුණු අතර, තවත් දෙසතියකින් රැස්වී ඉදිරි පියවර ගැනීමටද එහිදී තීන්දු විය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, බෞද්ධ භික්ෂූන් වහන්සේ, ක්‍රිස්තියානි පූජකවරයෙක්, හිටපු විභාග කොමසාරිස්වරයෙක්, ගුරු සංගම් හා අනෙකුත් වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු පිරිසක් මෙම රැස්වීමට සහභාගි වී සිටියහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර