දේශපාලන සිරකරුවන් ඝාතක නිලධාරීන්ට දඬුවම් දෙන්න

A poster campaign to get political prisoners released
Image caption 'දකුණට ගිහිල්ල සිංහලෙන් කතා කරන්නේ අපේ දුක ගැන, අපේ කඳුල ගැන, සිංහල සහෝදර ජනතාවට පෙන්නලා දෙන්නයි'

පසුගිය සමයේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල දී දේශපාලන සිරකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම් වලට සම්බන්ධ රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි මානව හිමිකම් ක්‍රියාධරයෝ පිරිසක් ඉල්ලා සිටිති.

දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය මේ ඉල්ලීම කළේ කොළඹ පැවති සමුළුවකදී.

බන්ධනාගාර තුලදී දේශපාලන සිරකරුවන් ඝාතනය කිරීමට සම්බන්ධ නිලධාරීන්ට දඬුවම් කිරීම පැහැර හරින බවට එහිදී අදහස් දැක වූ එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය ආණ්ඩුවට චෝදනා කළේය.

"ලසන්ත මරපු එක අල්ලන බෑ. ප්‍රගීත් එක්නැලිගොඩ උස්සන් ගියපු එක හොයන්න බෑ. කිතුල් ගහට ගියපු එකාට වගේ උත්තර තියෙනවා ආණ්ඩුවට. යකෝ, හිරගේ ඇතුලේ මරපු එකා අල්ලන්න බැරි ආණ්ඩුව මොකක්ද?" ඔහු ප්‍රශ්න කළේය.

විශේෂයෙන්ම වවුනියාව බන්ධනාගාරය ට පොලීසිය එල්ල කළ ප්‍රහාරයක දී නිමලරූබන් ඝාතනයට ලක්වීමේ සිද්ධියෙන් අනතුරුව දේශපාලන සිරකරුවන් පිළිබඳව සිංහල සමාජය දැනුවත් කිරීමේ ප්‍රබල අවශ්‍යතාවයක් මතු වී තිබෙන බවයි, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් කියා සිටියේ.

"දකුණට ගිහිල්ල කතා කරන්නේ, සිංහලෙන් කතා කරන්නේ අපේ ප්‍රශ්නය ගැන, අපේ දුක ගැන, අපේ කඳුල ගැන, සිංහල සහෝදර ජනතාවට පෙන්නලා දෙන්නටයි," ඔහු පැවසීය.

මෙම උද්ඝෝෂණය වෙනුවෙන් විරුද්ධ පක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ එක් කර ගත යුතු බවයි, නව වාමාංශික පෙරමුණේ නායක වික්‍රමබාහු කරුණාරත්න සඳහන් කළේ.

දේශපාලන සිරකරුවන් පිලිබඳ ප්‍රශනය හුදෙක් දෙමළ ජාතිකයන් ගේ ප්‍රශනයක් පමණක් නොවන බව මෑත ඉතිහාසය විසින් පෙන්වා දී තිබෙන බව සමුළුවේදී අදහස් දැක්වූ කොල්ලුපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයේ සත්‍යවේල් පියතුමා පැවසූහ.

මේ ප්‍රශ්නය පිළිබඳව පළවන මාධ්‍ය අවධානය ප්‍රමාණවත් නොවන බව එහිමියන් ගේ මතයයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර