දිවිනැගුම පණත් කෙටුම්පතට එරෙහිව අධිකරණයට

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 20 සඳුදා - 14:35 GMT
Sri Lanka parliament

යෝජිත පණත ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට, බලය බෙදා හැරීමට සහ යහ පාලනයට ප්‍රබල පහරක් බව ස්වේච්ඡා සංවිධානවල මතයයි

යෝජිත දිවිනැගුම සංවර්ධන පණත් කෙටුම්පත සම්මත වුවහොත් එමගින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට, බලය බෙදා හැරීමට සහ යහ පාලනයට ප්‍රබල පහරක් එල්ලවනු ඇතැයි ස්වේච්ඡා සංවිධාන කීපයක් අනතුරු අඟවයි.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් අලුත් දෙපාර්තමේන්තුවක් පිහිටුවීම සඳහා වූ පණත් කෙටුම්පතට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අධිකරණය හමුවේ අභියෝගයට ලක්කොට තිබේ.

ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය,ශ්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරිය, සහ දක්ෂිණ සංවර්ධන අධිකාරිය එකාබද්ධ කරගනිමින් මෙම දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීමටයි, එම කෙටුම්පතින් යෝජනා කෙරෙන්නේ.

'මහජන සංවාදයක් නෑ'

මෙම පණත් කෙටුම්පත ඉදිරිපත් කළ ආකාරය පිළිබඳව මෙන්ම එහි අන්තර්ගතය සම්බන්ධයෙන් ද සිය ප්‍රබල අවධානය පළ වී ඇති බවයි, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු බීබීසී සංදේශය ට කියා සිටියේ.

මුදල් පිලිබඳ නිරීක්ෂණය

"විශාල මුදල් ප්‍රමාණයක් මේ අලුත් දෙපාර්තමේන්තුවට ලැබෙනවා. අනික හැම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවකම තියෙන දෙයක් තමයි මුදල් පිලිබඳ නිරීක්ෂණය කිරීමේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට කියන එක. නමුත් ඒකටත් මේකෙන් බලපෑමක් තියෙනවා"

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු

විශේෂයෙන්ම පළාත් සභා බලතල සමහරක් නැවත මධ්‍යම ආණ්ඩුව අත සංකේන්ද්‍රණය වීමේ අවදානමක් ඇති බවයි, ඔහු පවසන්නේ.

"මේ පණත මඟින් 13 වැනි සංශෝධනය යටතේ තියෙන පළාත් ලැයිස්තුවට අදාළ දේවල්වලට ප්‍රබල බලපෑමක් කෙරෙනවා," ඔහු පැවසීය.

මෙය යලිත් වරක් බලය මධ්‍යගත කිරීමේ ආණ්ඩුවේ උත්සාහයක් ලෙසින් පෙනීයන බැවින්, එවැනි පණතක් මුලින්ම සියලුම පළාත් සභාවලට යවා එහි අනුමැතිය ලබා ගැනීමෙන් පසුව පමණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි, ඔහු පවසන්නේ.

එමෙන්ම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන බවට ආණ්ඩුව දී ඇති ප්‍රතිඥා වල විශ්වසනීයත්වය මේ ක්‍රියාමාර්ගය මඟින් ප්‍රශ්න කෙරෙන බව ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අදහසයි.

මූල්‍ය පරිපාලනය හා ඒ සම්බන්ධයෙන් ජනතාවට වගකීම අධීක්ෂණය කිරීමේ යාන්ත්‍රණය බල රහිත වීම අවධානය පළ වී තිබෙන තවත් අංශයක්.

"විශාල මුදල් ප්‍රමාණයක් මේ අලුත් දෙපාර්තමේන්තුවට ලැබෙනවා. අනික හැම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවකම තියෙන දෙයක් තමයි මුදල් පිලිබඳ නිරීක්ෂණය කිරීමේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට කියන එක. නමුත් ඒකටත් මේකෙන් බලපෑමක් තියෙනවා," බව ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම කිසිදු මහජන සංවාදයකට ලක් නොකොට "දිවි නැගුම" පණත හදිසියේම ඉදිරිපත් කිරීමත් ප්‍රශ්න සහගත බවයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙන්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.