ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සිනමාවේදී තිස්ස ලියනසූරිය

විශ්ව පූජිත මහා කලාකරු රවීන්ද්‍රනාත් තාගෝරයන්ගේ කෙටිකතා එකතුවක සිරිමතී රසාදරී පරිවර්තනය රස විඳින්නේ සම්මානලාභී සිනමාවේදී තිස්ස ලියනසූරිය.

කොළඹ ශාන්ත ජෝසප් විදුහලෙන් ශිල්ප හදාරන සමයේ පටන් කලාවට පෙම් බැඳි තිස්ස ලියනසූරියයන් අඩසිය වසකට වැඩි කලක් සිනමා ශිල්පයේ නියැලි නිර්මාණ වේදියෙක්.

චිත්‍රපට අධ්‍යක්ෂ කේ ඒ ඩබ් පෙරේරා සම්පාදනය කළ රේඩියෝ සඟරාව ඔස්සේ ගුවන් විදුලියට එක්වූ තිස්ස ගුවන් විදුලි රංග මඩලේද ශිල්පියකු වී. 1958 දී ලෙස්ටර් ජේම්ස් පීරිසුන්ගේ සංදේශය චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණයයි ලියනසුරියයන්ගේ සිනමා පිවිසුම.

මුල්ම සිංහල වර්ණ සිනමා නිර්මාණය රන්මුතු දූව සඳහා මයික් විල්සන් හට අධ්‍යක්ෂණයෙන් සහාය වූයේත්, ඉංග්‍රීසි පිටපත සිංහලට නැගුවේත් තිස්ස ලියනසූරිය.

ඔහුගේ මුල්ම චිත්‍රපටය සාරවිට. රජයේ චිත්‍රපට අංශයේ විසි දෙවසරක සේවාවෙන් 1992 දී සමුගන්නා විට ලියනසුරියයන් නිමවා තිබූ වාර්තා හා කෙටි චිත්‍රපට ගණන 50 ඉක්මවයි.

ඔහු අත රැඳි පොත සිරිමතී රසාදරී සිංහලට නැඟූ මහා කවි රවීන්ද්‍රනාත් තාගෝරයන්ගේ සප්ත පදී හෙවත් සත් පියවර.

නොබෙල් සාහිත සම්මාන ලාභී මුල්ම ආසියාතිකයා රවීන්ද්‍රනාත් තාගෝර්, කාව්‍යයේ, ගීත රචනයේ, නාට්‍ය නිෂ්පාදනයේ, සංගීතයේ මතු නොව චිත්‍ර ශිල්පයේත් ජය කෙහෙළි නැඟූයෙක්.

ඔහුම ලියා තනු නිමවූ 2,300 ඉක්මවූ මධුරතර ගී හැඳින්වෙන්නේ රබීන්ද්‍ර සංගීතය නමින්.

ඉන්දීය ජාතික ගීය මෙන්ම වංග ජාතික ගීයත් ඔහුගේ නිර්මාණ. ඉන්දීය නිදහස් සටනේ නියමුවකු වූ මහකවි තාගෝර් බ්‍රිතාන්‍යයේ පස් වැනි ජෝර්ජ් රජු විසින් පිරිනැමුණු නයිට් නම්බු නාමය ප්‍රතික්ෂේප කළ අයෙක්.

අපරදිග සංගීත කලා කෞශල්‍යය සිසුනට දායාද කරනු රිසින් තාගෝරයන් බිහි කළ ශාන්ති නිකේතනයෙන් සිප් සතර උගෙන ශ්‍රී ලංකාව ද ඇතුළු විවිධ රටවල සිය හැකියාව පතළ කළ කලා කරුවන් එමටයි.

තාගෝරයන්ගේ සප්ත පදී සිංහලට නැගූ සිරිමතී රසාදරී රංගන වේදිනියක් මෙන්ම නර්තන වේදිනියක්.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හින්දි අංශයේ නිවේදිකාවක්. ඇගේ පරිවර්තනයක් කියවන සිනමාවේදී තිස්ස ලියනසූරිය ගේ මුල්ම වෘත්තාන්ත සිනමා කෘතිය සාරවිට හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සරසවි සම්මාන 9 ක් දිනා ගත්තක්.