ජනාධිපති නියෝග කළොත් බිලි පූජාව නවත්වනවා - ප්‍රධාන පූජක

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 26 ඉරිදා - 12:44 GMT
Protest in Munneswaram Kovil (photo: Prasad Poornimal Jayamanne)

සතුන් මැරීම මහා අපරාධයක් බව පවසන සංවිධායකයෝ, එය වැළැක්වීම තම අරමුණ බව ද පවසති

ඓතිහාසික හලාවත මුන්නේස්වරම කාලි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත බිලි පූජාව නවත්වන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ නියෝග කළහොත් එය නැවැත්වීමට තමන් සූදානම් බව කෝවිලේ ප්‍රධාන පූජකතුමා පවසති.

එහෙත් අමාත්‍ය මර්වින් සිල්වා ගේ "තර්ජනයට" බිය වී ලබන සැප්තැම්බර් පළමුවෙනිදාට යෝජිත බිලි පූජාව නවතා දැමීමට තමන් සූදානම් නැති බවයි, කාලිමුත්තු සිවපාදසුන්දරම් පූජක තුමා පවසන්නේ.

අදාළ බිලි පූජාව සඳහා සතුන් රැගෙන ආවොත් එම සතුන් තම භාරයට ගන්නා බව මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා පසුගිය දා ජනමාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.

ලබන සැප්තැම්බර් පළමු වැනි දින ආරම්භ වීමට නියමිත බිලි පූජාවේදී සිදුවන සත්ත්ව හිංසාව වැළැක්වීමට මැදිහත් වන මෙන් බොහෝ දෙනා ගෙන් තමන්ට ඉල්ලීම් ලැබී තිබෙන බැවින් ඒ සඳහා සතුන් ගෙන ඒමෙන් වලකින මෙන් ඇමතිවරයා ජනතාව ගෙන් ඉල්ලීමක් කළේය.

"ඇමතිතුමා (මර්වින් සිල්වා) එයා විතරනේ එහෙම කියන්නේ අනිත් ඇමතිවරු මේකට විරුද්ධ නෑ. දැන් අපිට ජනාධිපති තුමා වත් කිසිම කතාවක් කියල නෑ. ජනාධිපතිතුමා අපිට නවත්වන්න කිවුව නම් නැවැත්තුව හැකි," බව ප්‍රධාන පූජකතුමා පැවසුවේ බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි කළ විමසීමක දී.

'රණවිරුවන් වෙනුවෙන් බිලිපූජා'

සිංහල, දෙමළ, මුස්ලිම් බිලි පූජා

"යාපනේ යුද්දෙට ගිහිල්ල ඇවිල්ල ඒගොල්ල වෙනුවෙන් අම්මල තාත්තල තමයි ඇවිල්ල භාර වෙන්නේ. ළමයාගේ පණ බේරලා දුන්නොත් කුකුලෙක් එළුවෙක් දෙවියන්ට බිලි දෙනවා කියල භාරවෙනවා. වැඩිපුර කෙරුවේ පහුගිය දවස්වල ඒ කට්ටිය තමයි. දැනුත් කරන්නේ ඒගොල්ල තමයි"

කාලිමුත්තු සිවපාදසුන්දරම් පූජක තුමා

අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සිංහල, දෙමළ සහ මුස්ලිම් බොහෝ දෙනා සිය කෝවිලට පැමිණ බිලි පූජා පවත්වන බව ද ප්‍රධාන පූජකතුමා පවසති.

"එයා (ඇමති මර්වින් සිල්වා) කියන්නේ එයා හිතන එක වෙන්ඩ ඕන කියන එකයි. එයත් ඉස්සර ඇවිල්ල මේ පූජාවල් තියල තියනවා දේවාලෙට ඇවිල්ල," කාලිමුත්තු සිවපාදසුන්දරම් පූජකතුමා පැවසූහ.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා එල්ටීටීඊ සංවිධානයට එරෙහිව උතුරේ සහ නැගෙනහිර යුද වැදී සිටි සමයේ මුන්නේස්වරම කාලි දේවස්ථානයේ වැඩිපුරම බිලි පූජා පැවැත්වූයේ හමුදා භටයන්ගේ දෙමාපියන් බවයි, පූජකතුමා පෙන්වා දෙන්නේ.

"යාපනේ යුද්දෙට ගිහිල්ල ඇවිල්ල ඒගොල්ල වෙනුවෙන් අම්මල තාත්තල තමයි ඇවිල්ල භාර වෙන්නේ. ළමයාගේ පණ බේරලා දුන්නොත් කුකුලෙක් එළුවෙක් දෙවියන්ට බිලි දෙනවා කියල භාරවෙනවා. වැඩිපුර කෙරුවේ පහුගිය දවස්වල ඒ කට්ටිය තමයි. දැනුත් කරන්නේ ඒගොල්ල තමයි, ඒ භාරවෙච්ච භාරවීම තවමත් ඒගොල්ල කරගෙන එනවා," බවද එතුමා පැවසූහ.

කෝවිල ඉදිරිපස උද්ඝෝෂණ

බීබීසී ය පූජකතුමා ගෙන් එම විමසීම කළේ බෞද්ධ භික්ෂූන් වසන්සේ ප්‍රමුඛ සිය ගණනක පිරිසක් හින්දු දේවස්ථානය ඉදිරිපස පැවැත්වූ උද්ඝෝෂණයක් ගැටුමක් බවට පෙරලීමේ තත්ත්වයක් මතුවූ අවස්ථාවේ මැදිහත් වූ පොලීසිය භික්ෂූන් ඇතුළු පිරිසට බැගෑපත් වී ගැටුම වලක්වා ගැනීමෙන් අනතුරුවයි.

කෝවිලේ බිලි පූජා නැවැත්වීම සඳහා නියෝගයක් දීමට අධිකරණය පවා ප්‍රතික්ෂේප කොට තිබියදී එයට බාධා කිරීම අසාධාරණ බව ද පූජක තුමා පැවසූහ.

ජාතික සංඝ සම්මේලනය ඇතුළු සංවිධාන ගණනාවක් විසින් උද්ඝෝෂණය සඳහා තංගල්ල, ගාල්ල, මාතර සහ මහනුවර වැනි ප්‍රදේශවල සිට බස්රථවලින් සිය ගණනක් ජනතාව ගෙනැවිත් තිබුන බව දැකගන්නට ලැබුණු බවයි, එහි ගිය මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න සංදේශයට වාර්තා කරන්නේ.

සතුන් මැරීම "මහා අපරාධයක්" බව පැවසූ ජාතික සංඝ සම්මේලනයේ ප්‍රධාන සංවිධායක පස්සරමුල්ලේ දයාවංශ හිමියෝ, ශ්‍රී ලංකාවට බුද්ධ ධර්මය වටහා දුන් මිහිඳු මහා රහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවේ සත්ත්ව ඝාතනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සමත් වූ බව ද පැවසූහ.

සත්ත්ව හිංසනයට එරෙහිව මහා සත්‍ය ක්‍රියාවක් ලබන මස පළමු වැනි දින කාලි දේවස්ථානය ඉදිරිපස පැවැත්වීමට අමාත්‍ය මර්වින් සිල්වා සැරසෙන නමුත් බිලි පූජාව නැවැත්වීමේ කිසිදු සූදානමක් නැති බවයි, කෝවිලේ ප්‍රධාන පූජකතුමා පවසන්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.