අතුරුදහන් අයගේ 'නම් ලැයිස්තු හෙළි කරන්න'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 30 බ්‍රහස්පතින්දා - 15:11 GMT

අතුරුදහන් වූවන් පිලිබඳ තොරතුරු වහාම හෙළිදරව් කරන ලෙස මානව හිමිකම් සංවිධාන ගණනාවක් සමග වවුනියාවට එක්වූ ඥාතීහු රජයට බල කොට සිටි අතර ශ්‍රී ලංකාව තුල අතුරුදහන් වීම් වලක්වා ලන්නට මැදිහත් වන ලෙස ජාත්‍යන්තර වශයෙන් බල කරන සමුළුවක් ස්විට්සර්ලන්තයේදී ආරම්භ විය.

අගෝස්තු තිස් වැනිදාට යෙදෙන අතුරුදහන් වුවන් සමරන ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ස්විට්සර්ලන්තයේ බර්න් නුවර පැවැත්වෙන සමුළුවට ප්‍රධාන ආරාධිත ලෙස කැඳවා ඇත්තේ 2009 ජනවාරියේදී අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බිරිඳ සන්ධ්‍යා.

රජයට ජාත්‍යන්තර බලපෑම්

තර්ජනයට ලක්වූ පුද්ගලයන් සඳහා වන සංගමය (Society For Threatned People) විසින් සංවිධානය කැරෙන බර්න් සමුළුවට සහභාගිවෙමින් සන්ධ්‍යා එක්නැලිගොඩ බී බී සී සංදේශයට කියා සිටියේ රජයට ජාත්‍යන්තර වශයෙන් බලපෑම් නොකර අතුරුදහන් වූවන් පිලිබඳ සත්‍යය කිසිදා හෙළි කරගත හැකි නොවන බවයි.

අතුරුදහන් සිය ඥාතීන් වෙනුවෙන් යුක්තිය පතා වවුනියාවේ පා ගමනකට හා සර්වාගමික කන්නලව් සඳහා සහභාගි වූ සිය ගණනක් පවුල් වල සාමාජිකයන් සමග එක්වූ කල්පිටියේ සිට පැමිණි බැඳිවැවේ දියසේන හිමියන් කියා සිටියේ රජය විසින් සත්‍යය හෙළිදරවු කිරීමට පියවර ගන්නා තුරු ජාත්‍යන්තර බලවේග ශ්‍රී ලංකාවේ සිදුවන කටයුතු සම්බන්ධයෙන් අත පෙවීම වලකා ලිය නොහැකි බවයි.

"මරණ සහතික ගන්න මැරුණා කියන එක සහතික කරගන්න එපා යැ'' යි උන්වහන්සේ ප්‍රකාශ කළේ මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්ක වල අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ට මරණ සහතික භාර ගන්නා ලෙස රජය කරන ඉල්ලීම සිහිපත් කරමින්.

'මේ ආණ්ඩුව බයයි'

සිදු වූ දෑ පිළිබඳ පැහැදිලි අවබෝධයකින් තොරව අතුරුදහන් වුවන් වෙනුවෙන් මරණ සහතික ලබා ගන්නට ඥාතීන් සුදානම් නැති බවයි අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුවේ නීතිඥ බ්‍රිටෝ ප්‍රනාන්දු කියා සිටියේ.

ඒ ගැන සොයා බැලීමට කොමිසමක් පත් කිරීමට පවා "මේ ආණ්ඩුව බයයි තමන්ගේ මිනීමැරුම් අහු වෙන හින්දා," යි බ්‍රිටෝ ප්‍රනාන්දු තව දුරටත් රජයට චෝදනා කළේය.

අතුරුදහන් වුවන් මරා දමා ඇතිනම් ඒ ඝාතන වලට වගකිව යුත්තන් සොයා දඬුවම් දිය යුතු බව මන්නාරමේ කෘස් ජෙයපාලන් පියතුමා රජයෙන් ඉල්ලා සිටියහ.

රජය වෙනුවෙන් යුද්ධයට සහභාගි වී ආගිය අතක් නොමැති තම පුත්‍රයා සොයා දීමේ වගකීමත් රජයට පැවරෙන බවයි යුද්ධයෙන් අවතැන්වූවන්ගේ මා පිය, දූදරු සංගමයේ සභාපතිනි විශාඛා ධර්මදාස ප්‍රකාශ කළේ.

අතුරුදහන් සංඛ්‍යාලේඛන

අතුරුදහන් වූ බවට රජය වෙත ඇති සංඛ්‍යාලේඛන නිල වශයෙන් තවමත් එළි දක්වා නැති බව කී අතුරුදහන් වුවන් සොයා බැලීමේ කමිටුවේ අධ්‍යක්ෂ සුන්දරම් මහේන්ද්‍රන්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මගින් වහාම ඒ තොරතුරු හෙළි කිරීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

තම පවුලේ සාමාජිකයන් අතුරුදහන් වූයේ රජයේ ආරක්ෂක අංශ විසින් රැගෙන යාමෙන් අනතුරුව බවයි පා ගමනට එක්වූ ඥාතීන් බොහොමයක් හඬා වැළපෙමින් කියා සිටියේ.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින් හෙළි කොට ඇති අන්දමට, 2011 වසර අවසාන වන විට ශ්‍රී ලංකාව තුල අතුරුදහන්වී ඇති සංඛ්‍යාව පහළොස් දහස ඉක්මවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.