හෙක්ටර් අබේවර්ධන 'සමාජවාදී ව්‍යාපාරයේ යුග පුරුෂයෙක්'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 24 සඳුදා - 16:58 GMT
Hectors funeral

ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂයේ ජීවතුන් අතර සිටි පැරණිතම සාමාජිකයා දේශයෙන් සමු ගත්තේය.ලංකා සම සමාජ පක්ෂයේ සිටි මුල් පෙළේ න්‍යායාචාර්ය වරයකු ලෙස සැලැකෙන හෙක්ටර් අබේවර්ධන, දිවි හැර යන විට අනූ තුන් වැනි වියේ පසුවිය.

දෙවැනි ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය පාලනය විසින් සම සමාජ පක්ෂය තහනම් කැරුණු වකවානුවේදී ඉන්දියාවට පළා ගිය හෙක්ටර් අබේවර්ධන, ඉන්දීය නිදහස් සටනේ ක්‍රියාකාරිකයකු ලෙසද කටයුතු කළේය.

ලේඛකයෙක් හා මාධ්‍යවේදියෙක්

ඉන්දීය ලාංකික හා බුරුම බෝල්ෂෙවික් ලෙනින් වාදී පක්ෂයේ (BLPI ) ක්‍රියා කාරී සාමාජිකයකු වූ ඔහු ලේඛකයෙක් හා මාධ්‍යවේදියෙක් ද විය .

ලෝක යුද්ධය හමාර වූ පසු දිගටම ඉන්දියාවේ දේශපාලනයේ නිරත වූ හෙක්ටර් අබේවර්ධන, එක දහස් නවසිය හැටේදී පෙරලා ශ්‍රී ලංකාවට ලඟා විය .

Lanka Sama Samaaja Party

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සම සමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය දෙවැනි වරට සභාග ගතවූ 1970 රජයේ ආචාර්ය ඇන් ඇම් පෙරේරා ගේ මුදල් ඇමති ධූරය යටතේ හෙක්ටර් අබේවර්ධන මහජන බැංකුවේ සභාපති ධුරයට පත් කරනු ලැබීය.

අසාධාරණයට එරෙහිව

ගුවන් විදුලි මාධ්‍යය ඔස්සේ සිදු කළ අවසාන කතා බහ සේ ගැනෙන සාකච්ඡාවකට ඉකුත් වසරේ සංදේශය හා එක් වූ හෙක්ටර් අබේවර්ධන කියා සිටියේ අසාධාරණයට එරෙහිව පෙනී සිටීම තමන් උපන් ගෙයි සිටම ආරම්භ කළ බවයි.

ලංකා සමසමාජ පක්ෂයේ ඉතිහාසය පිලිබඳ පර්යේෂණ ගණනාවක නිරතවූ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය රංජිත් අමරසිංහ, සංදේශය සමග සාකච්ඡාවකදී හෙක්ටර් අබේවර්ධනයන් හැඳින්වුයේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් යුග මෙහෙවරක යෙදුනු පුද්ගලයෙක් ලෙසින්.

"මේ රටේ සමාජවාදී ව්‍යාපාරයේ මුල්යුගයේ පුරෝගාමීන් අතරින් අපෙන් සමුගන්නා අවසන් පුද්ගලයා හෙක්ටර්. මේක යුගයක අවසානයක්." මහාචාර්ය අමරසිංහ මියගිය සම සමාජ නායකයාට ප්‍රණාම පුද කරමින් ප්‍රකාශ කළේය.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.