නැගෙනහිර ඇමති ධුර පිලිබඳ ආණ්ඩු පක්ෂයේ මත භේද

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 25 අඟහරුවාදා - 18:15 GMT
Pillayaan

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සමග හවුලේ එක්සත් ජනතා නිදහස් සන්ධානය බලය ලබාගත් නැගෙනහිර පළාත් සභාවේ දමිළ නියෝජිතයකුට අමාත්‍ය ධුරයක් නොමැතිවීම ඒ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට බාධාවක් නොවන බව හිටපු මහ ඇමති වරයා ප්‍රකාශ කර සිටී.

පළාත් සභා මැතිවරණ ප්‍රතිපල නිකුත් වීමත් සමගම බී බී සී ය හා කතා කළ හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් කියා සිටියේ තමනට පිරිනැමුණු අමාත්‍ය ධුරය ප්‍රතික්ෂේප කළ බවයි.

නැගෙනහිර පළාත් සභාවේ පරිපාලනය සිදුවන ආකාරය පිලිබඳ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ මුස්ලිම් කොන්ග්‍රසය එකඟතාවයන් වලට එළඹ ඇති බවද හිටපු මහ ඇමති ප්‍රකාශ කරයි.

පිටුපසින් සිට

"මුස්ලිම් කොන්ග්‍රසය විශ්වාස කරනවා. ඒකයි අපි ආණ්ඩුව හැදුවේ", හිටපු මහ ඇමති වරයා කියයි.

අමාත්‍ය ධුර නොමැති වුවත්, පිටුපසින් සිට ක්‍රියාත්මක වීම තම අරමුණ බවද ඔහු පවසයි.

කෙසේ වෙතත් ආණ්ඩුවේ හවුල් කාර ජාතික නිදහස් පෙරමුණින් නැගෙනහිර පළාත් සභාවට තේරී පත්වූ ජයන්ත වීරසේකර මන්ත්‍රී වරයා පවසන්නේ බලය ලබා ගත හැකි වුවත් සුළු ජාතීන් දිනා ගැනීමට රජයට හැකියාවක් නැති බව මැතිවරණයෙන් තහවුරු වූ බවයි.

ඇමති ධුරයක් ගන්න තිබුනා

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රසාද මන්ත්‍රී ධුරයෙන් නැගෙනහිරට තේරී පත් වූ තුරෙයප්පා නවරත්නම් පවසන්නේ පල්ලත් සභාවේ බලයට පත් නොවූ දමිළ ජාතික සන්ධානයට බහුතර ඡන්දයක් ලබාදුන් දමිළ ජනතාව ඇමති ධුරයක් අපේක්ෂා කිරීම යුක්ති සහගත බවයි.

ඔහු බී බී සී යට පැවසුවේ "බුලත් කොලේට ඡන්දෙ දීල තිබුන නම් ඇමති ධුරයක් ගන්න තිබුනා," යනුවෙන්.

දුන්නා නම් වටිනවා

ආණ්ඩුවට ඡන්දය දුන් ආකාරය දෙමළ ජනතාවට සැලකීම සඳහා පදනම කොට ගත යුතු නැති බව කී විජේසේකර මන්ත්‍රී වරයා දෙමළ නියෝජිතයකුට " අඩුම තරමේ උප සභාපති කම දුන්නා නම් වටිනවා මේ වෙලාවේ," යයි බී බී සී යේ ආර් ජී ධර්මදාස හා පැවසීය.

පිල්ලෙයාන් නමින් ප්‍රකට සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නැගෙනහිර පළාත් සභා මැතිවරණ ප්‍රතිපල වලින් පසු ජනාධිපති වරයාගේ විශේෂ උපදේශකයකු ලෙස පත් කරනු ලැබීය.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.