අර්ජුනගේ උපදෙස් ජයග්‍රහණයට ශක්තියක් වුනා - ශෂිකලා සිරිවර්ධන

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 29 සෙනසුරාදා - 13:27 GMT

තම කණ්ඩායම පන්දු යැවීම ආරම්භ කිරීමට මොහොතකට පෙර කණ්ඩායම වෙත පැමිණි හිටපු ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග ලබාදුන් උපදෙස් බටහිර ඉන්දීය කොදෙවු පිල පරාජය කිරීම සඳහා තමන්ට ශක්තියක් වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව පවසන්නීය.


සිකුරාදා දහවල් කොදෙවුවන්ට එරෙහිව පන්දුවට පහරදීම සඳහා පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම වර්ෂාව හේතුවෙන් අතරමඟ නතර කරනවිට ශ්‍රී ලංකා පිල පන්දු ඕවර 10 යි පන්දු තුනකදී කදුළු තුනක් දැවී ලකුණු 50 ක් රැස්කරගෙන සිටියේය.


ඉන් අනතුරුව බටහිර ඉන්දීය කොදෙවුවන් තරඟයෙන් ජයග්‍රහණය කිරීමට නම් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුව ඕවර අටකදී ලකුණු 48 ක් රැස් කළ යුතුව තිබූ නමුත්, ඔවුන්ගේ ඉනිම ලකුණු 42 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත්වූහ.


"අපි පන්දු යැවීම ආරම්භ කරන්න මොහොතකට කලින් අර්ජුන රණතුංග අපි ඉන්න තැනට ආව. ඒ වෙලාවේ එයා කරපු දිරිමත් කිරීම අපිට ලොකු ශක්තියක් වුනා" නායිකා ශෂිකලා සිරිවර්ධන ප්‍රකාශ කළාය.

"අපි පන්දු යැවීම ආරම්භ කරන්න මොහොතකට කලින් අර්ජුන රණතුංග අපි ඉන්න තැනට ආව. ඒ වෙලාවේ එයා කරපු දිරිමත් කිරීම අපිට ලොකු ශක්තියක් වුනා"

නායිකා ශෂිකලා සිරිවර්ධන


ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ගාල්ලේදී ලැබූ ජයග්‍රහණය කාන්තා ජගත් ශූරතාවලියේ මෙතෙක් සිදුවූ විශාලතම පෙරලියක් සේ සැලකේ.


දිනුවත් පැරදුනත් අපි එක්ක ඉන්න


මේ අතර එම තරඟයට දින කිහිපයකට පෙරාතුව බීබීසී සංදේශය සමඟ අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ බදාදාවේ ආරම්භ වූ කාන්තා ශූරතාවලියේදී සහ සමස්තයක් වශයෙන් සියලු කාන්තා තරඟවලදී සිය කණ්ඩායමේ ජය පරාජය නොතකා තමන්ට ආධාර කරන්නැයි ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලීමක් කළහ.


ක්‍රීඩිකාවන් පිරිස එම ඉල්ලීම කළේ කණ්ඩායම හමුවීම සඳහා පසුගියදා මා ඔවුන් නවාතැන් ගෙන සිටින කොග්ගල බීච් හෝටලයට ගිය අවස්ථාවේදී.


ශ්‍රී ලංකා පුරුෂ කණ්ඩායම ක්‍රීඩා කරන සෑම අවස්ථාවකම කණ්ඩායම දිනුවත් පැරදුනත් තමන් ඔවුන්ට සහාය දෙන බව පවසන කණ්ඩායමේ හිටපු නායිකා ඩිලානි මනෝදර, සිය කණ්ඩායමටද එවැනි සහයක් පල කරන මෙන් ලාංකීය ක්‍රීඩා ලෝලීන්ගෙන් අයැද සිටින්නීය.


"හැමෝම ඕගොල්ලෝ දිනන්නේ නෑනේ කියනවා. එක පැත්තකින් දුකයි අපි දිනන තරඟවත් මාධ්‍යවලින් කතා කරන්නේ නැති එක. අනික අපි පැරදෙන හැම වෙලාවකම ගොඩක් දෙනෙක් බලා ඉන්නවා අපිව බිමට දාන්න," ඇය බීබීසී සංදේශයට කියා සිටියාය.


"කාන්තා ක්‍රිකට් ඉස්සරහට යන්න නම් ඒක රැඳිල තියෙන්නේ ක්‍රීඩිකාවන් විතරක් නෙවෙයි, ක්‍රීඩා ලෝලීන්, මාධ්‍ය වගේ අපි සේරගේම අතේ," බවද ඩිලානි මනෝදර කියා සිටියාය.


කෙසේ වුව, කණ්ඩායමේ උප නායිකා සඳමාලි දොලවත්ත පවසන්නේ එහිදී ප්‍රධානම වගකීම පැවරෙන්නේ තමන් ඇතුළු ක්‍රීඩිකාවන්ටම බවයි.


"මොකද අපි ලෝක කුසලානය දිනපු නිසා තමයි මම හිතන්නේ හැමෝම ක්‍රිකට්වලට ආදරේ කළේ. අපේ බලාපොරොත්තුව අවසාන පූර්ව වටය දක්වා යන එක. ඉතින් එහෙම ආවොත් අපි ඛේත්තාරාමේ සෙල්ලම් කරන්නේ. පුරුෂ කණ්ඩායමත් අපිට පස්සේ එදාම සෙල්ලම් කරන නිසා ගොඩක් සෙනඟ එනවා. එහෙම වුනොත් ඒක එච්චර සෙනග ගොඩක් ඉස්සරහ අපි සෙල්ලම් කරන පලවෙනි වතාව වෙයි," යන්න සඳමාලි දොලවත්තගේ අදහසයි.


වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය, "ඒ තැනට අපි ගියොත් අපේ මැච් බලන්නත් සෙනග එයි. ඉතින් මැච් දිනන්න ඕන අපි මිනිස්සු ගෙන්න ගන්න," බව ද සඳහන් කළාය.


ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු කණ්ඩායම් අටක් කාන්තා ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා සිටියි.


ශූරතාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ වාසියෙන්ද උපරිම ඵල නෙලාගෙන කෙසේ හෝ අවසාන පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්ෂාවයි.


එහෙත් එම ඉලක්කය හඹා යාමේදී ලාංකීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලැබෙන ජාත්‍යන්තර තරඟ ප්‍රමාණවත් නොවීම ප්‍රබල කඩුල්ලක් බවයි ක්‍රීඩිකාවෝ මෙන්ම පුහුණුකරු ලංකා ද සිල්වාත් සංදේශයට පැවසුවේ.


"ඇත්තටම අපේ කණ්ඩායමට මේ වෙනකොට ලැබිල තියෙන්නේ තරඟ 21 ක්. එත් අනිත් කණ්ඩායම් තරඟ 60-80 මේ වෙනකොට සෙල්ලම් කරලා තියෙනවා. එහෙම බැලුවම අපිට තවත් ඉදිරියට යන්න වගේම මිනිස්සු අපි ගැන කතා කරන්නත් හොඳ අවස්ථාවක් තවත් තරඟ ලැබෙනවා නම්, " නායිකා ශෂිකලා සිරිවර්ධන සංදේශයට පැවසුවාය.


ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 14 දෙනාම ආරක්ෂක හමුදාවල සේවයේ යෙදී සිටීම සුවිශේෂී තත්ත්වයක්. කෙසේ වුව, එය තම ක්‍රීඩා ජීවිතයට රුකුලක් විනා බාධාවක් නොවන බවයි, නායිකාව පවසන්නේ.


ජාත්‍යන්තර තරඟ මෙන්ම කණ්ඩායමට මීට වඩා දේශීය තරඟත් ලබා දීමේ අවශ්‍යතාවය පුහුණුකරු ලංකා ද සිල්වා මේ අතර පෙන්වා දෙයි.


"අපේ දේශීය ක්ලබ් තියෙන්නේ පොඩි ප්‍රමාණයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පුළුවන් නම් තවත් සල්ලි ටිකක් වියදම් කරලා ඒ ගහන ක්ලබ් වැඩි කරන්න එතකොට කණ්ඩායමේ වෘත්තීය තත්ත්වය වැඩිකරගන්න පුළුවන්," ඔහු පැවසීය.


ප්‍රේක්ෂක සහ මාධ්‍ය අවධානය ප්‍රමාණවත් නොවීම මෙන්ම තම ක්‍රීඩාවට අනුග්‍රහය දැක්වීමට ව්‍යාපාරිකයන් ඉදිරිපත් නොවීමත් කනස්සල්ලට හේතුවක් බව ක්‍රීඩිකාවෝ පිරිස බීබීසී සංදේශයට පැවසූහ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.