ළිංවලට බද්දක් පැනවීමේ සැලසුමක් නෑ - අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 22 සඳුදා - 14:40 GMT
Well

අඩි 12 කට වැඩි විෂ්කම්භයකින් යුත් ජල ළිංවලට රුපියල් 7500 සිට 15,000 දක්වා වාර්ෂික බද්දක් පනවන බව සභාපතිවරයා පත්‍රයට පවසා තිබුණි

ජල ළිංවලට බද්දක් පනවන බවට ජල සම්පත් මණ්ඩලයේ සභාපතිවරයා විසින් කරනු ලැබ ඇති ප්‍රකාශය ආණ්ඩුවේ නිළ මතය නොවන බව ජල සම්පත් හා ජලාප්‍රවාහන පිලිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

අඩි 12 කට වැඩි විෂ්කම්භයකින් යුත් ජල ළිංවලට රුපියල් 7500 සිට 15,000 දක්වා වාර්ෂික බද්දක් පනවන බව සභාපතිවරයා ඩේලි මිරර් පත්‍රයට පවසා තිබුණි.

ජල සම්පත් මණ්ඩලය තම අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් නොවන නමුත් එසේ බදු අයකිරීම ශ්‍රී ලංකාවේ මහජනතාව දැඩි අපහසුකාරී තත්ත්වයකට ඇද දමන්නක් බවයි, ඇමතිවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.

"ළිං ජලය ලබාගැනීම සඳහා බද්දක් පැනවීම මා සම්පූර්ණයෙන්ම එකඟ නොවන, ප්‍රතික්ෂේප කරන දෙයක්," ඔහු පැවසීය.

ලෝක බැංකු යෝජනා

"රජයක් හැටියට අපි ප්‍රතිපත්තියක් වශයෙන් එකඟ නෑ අප වැනි ග්‍රාමීය, කෘෂිකාර්මික රටවල් හැටියට භූගත ජලය, අපේම ගම්වැසියන් හදාගන්න ළිංවලට බදු පනවන්න"

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

භූගත ජලය සහ වන සම්පත ආරක්ෂා කිරීම සඳහා ජාතික වැඩ පිළිවෙලක් අවශ්‍ය බව පිළිගන්නා ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා, කෙසේ නමුත් එවැනි වැඩ පිළිවෙලකින් තොරව ජලය සඳහා බද්දක් පැනවීම ශ්‍රී ලංකාව වැනි ග්‍රාමීය ජන කොටසක් වෙසෙන රටකට කිසි ලෙසකින් වත් යෝග්‍ය නොවන බවද සඳහන් කළේය.

දැනට විදේශගතව සිටින විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවා සභාපතිවරයා ගේ ප්‍රකාශය පිළිබඳව පුදුමය පළ කළ බවත්, එය නිවැරදි කරන මෙන් සභාපතිවරයාට උපදෙස් දුන්නේ යයි තමන්ට දැනුම් දුන් බවත් අමාත්‍ය ගුණවර්ධන සඳහන් කළේය.

"ලෝක බැංකුව විවිධ අවස්ථාවල විවිධ යෝජනා කරලා තිබෙනවා. රජයක් හැටියට අපි ප්‍රතිපත්තියක් වශයෙන් එකඟ නෑ අප වැනි ග්‍රාමීය, කෘෂිකාර්මික රටවල් හැටියට භූගත ජලය, අපේම ගම්වැසියන් හදාගන්න ළිංවලට බදු පනවන්න," බව ද ඇමතිවරයා කියා සිටියේය.

"ජනතාවාදී රජයක් ලෙසින්" නිලධාරීන්ගේ මෙවැනි උපක්‍රම පරාජය කිරීමට තමන් කැපවී සිටින බවයි, දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.