අතුරුදහන් කරවීම ජාතික වරදක් - අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 27 සෙනසුරාදා - 17:34 GMT

අතුරුදහන් කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා ස්වාධීන කොමිෂමක් පත් කළ යුතු බව අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

අතුරුදහන් වුවන්ගේ විසි දෙවැනි ජාතික දින සැමරුම අමතමිනුයි ඔහු එසේ කියා සිටියේ.

අතුරුදහන් වුවන් ගේ නෑසියන් ගේ සහභාගිත්වයෙන් අද සීදුවේ රද්දොළුගම අතුරුදහන් වුවන්ගේ සිහිවටනය ඉදිරියේ පැවැත්වුන විසි දෙවැනි ජාතික සැමරුමේ තේමාව වුයේ 'අතුරුදහන් කරවීම ජාතික වරදක් බවට නීති ගත කරනු' යන්නයි.

අසු අට හා අසු නවය කාල‍ය තුල අතුරුදහන් වූ අයගේ පවුල් වල සාමාජිකයන් මෙන්ම පසුගිය වසර කිහිපය තුල උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයෝද සැමරුමට එක්ව සිටියහ.

අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් සාධාරණය ඉෂ්ට කරන බවට දුන් පොරොන්දු වත්මන් ජනාධිපතිවරයා ඇතුළු නායකයන් විසින් අමතක කර ඇති බව පැවසූ අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු ඒවා ඉෂ්ට කිරීමේ වගකීම දැන් තමන් වෙත පැවරී ඇතැයි ප්‍රකාශ කළේය.

"ඒ වෙනුවෙන් කථා කරන මිනිසුන් ද්‍රෝහියන් විදහට මෙන්ම පාවා දෙන්නන් හැටියට හැදින්වුවත් අතුරුදහන් වී සිටින දෙමළ මෙන්ම සිංහල දරුවන් වෙනුවෙන් සාධාරණය ඉටු කොට ජාතීන් අතර සමගිය ගොඩ නගා විවිධ ජාතීන් ජීවත්වන රටක් බිහි කිරීමේ වගකීම පැවරී තිබෙනවා " යැයි ඔහු තවදුරටත් පැවසුවේය.

අතුරුදහන් කිරීම් සිද්ධීන් ශ්‍රී ලංකාවේ ඉහල මට්ටමක පවතින බව නිදහසේ වේදිකාවේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජික නීතිඥ සුදර්ශන ගුණවර්ධන පැවසුවේය.

"එදා අතුරු දහන්වීම වලට ලක් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්. ඒ සාමාජිකයන්ගේ මරණයෙන් පස්සේ ඒ පක්ෂය නැවත සංවිධානවෙලා, බලවත්වෙලා ඒ පක්ෂය හදපු ආණ්ඩුවකින් තමයි මේ තත්වය ඇතිවුනේ, එදා අතුරුදහන් වීම් වලට විරුද්ධ වූ කට්ටිය අද කියනවා අතුරුදහන් වීම් නැතැයි කියල , " නීතිඥ සුදර්ශන ගුණවර්ධන තවදුරටත් ප්‍රකාශ කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.