ඔබාමාගේ ජය ශ්‍රිලංකාවට වාසිද?

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 7 බදාදා - 18:25 GMT

බරක් ඔබාමාගේ ජයග්‍රහණය ශ්‍රි ලංකාවේ දේශපාලනය වෙත ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදු කෙරෙන බලපෑම් නොවෙනස්ව තවත් සිව් වසරක් ඉදිරියට ක්‍රියාත්මක වීම තහවුරු කරන්නක් බව දේශපාලන විශ්ලේෂකයෝ ප්‍රකාශ කරති.

පසුගිය මාර්තු මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා නායකත්වය ලබාදුන් එක්සත් ජනපදය එයට පෙර 2009 මැයි මසදී මානව හිමිකම් කොමිසම වෙත ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ගෙන ඒම සඳහා යුරෝපා සංගමයට පිටුපස සිට නායකත්වය දුන් බව එවකට ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපති පදවිය හෙබවූ ආචාර්ය දයාන් ජයතිලක පැහැදිලි කරයි.

විකී ලීක්ස්

"විකී ලීක්ස් වලින් හෙළිදරව් වී තිබෙන ආකාරයට රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ජිනීවා නුවර තානාපති නිලධාරීන්ට දන්වා තිබෙනවා යුරෝපා සංගමය ගෙන ආ යෝජනාවට ඡන්ද ලබා ගැනීම සඳහා වෙනත් තානාපති වරුන්ගේ ඡන්ද එකතු කරන ලෙස ඉල්ලමින්," ආචාර්ය දයාන් ජයතිලක සංදේශය හා සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේය.

විදේශගත දමිල ප්‍රජාව අතර සිටින ඊළාම් වාදීන්, යුද්ධය තුලින් ලබාගැනීමට නොහැකිවූ දේ දිනා ගැනීම සඳහා ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති සම්බන්ධතා වැරදි ලෙස හුවා දැක්වීමට උත්සාහ ගන්නා බවයි ආචාර්ය ජයතිලක ප්‍රකාශ කරන්නේ.

බල ත්‍රිකෝණය

"ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට බලපාන බල සම්බන්ධය ත්‍රිකෝණාකාරයි. ඉන්දියාව, එක්සත් ජනපදය සහ චීනය මේ ත්‍රිකෝණයට අයත් වෙනවා. ඊළාම් වාදීන් ගේ මුලෝපාය වී තිබෙන්නේ ශ්‍රී ලංකාව චීන ඉත්තෙක් කියල මවා පාලා ඉන්දියාව සහ එක්සත් ජනපදය සතු බලය ශ්‍රී ලංකාවට එරෙහිව මෙහෙයවීමයි," ඔහු පැවසීය.

"ඔවුන් ජය ගත්තා නම් දෙරට අතර ශීතල යුද්ධයකට ශ්‍රී ලංකාව මැදි වීමට ඉඩ තිබුනා"

චීන නායකත්වය වෙනස් වීමට දින කිහිපයක් තිබියදී ශ්‍රී ලංකාවට මෙන්ම ඔබාමා වෙත නව අභියෝගයක් ඉදිරිපත් වීමට ඉඩකඩ ඇතිවිය හැකි බව වොෂින්ටනයේ ටුලේන් සරසවියේ මහාචාර්ය සෑම් සමරසිංහ පවසයි.

රිපබ්ලිකන් ජයක් ශ්‍රී ලංකාවට වාසි සහගත නොවන බවද ආචාර්ය ජයතිලකගේ මතයයි.

"රොම්නිගේ ජය අපට වාසි බව යමෙක් සිතුවා නම් ඒක වරදක්. රිපබ්ලිකන් පක්ෂය චීනයට සලකන්නේ සතුරු රටක් ලෙස. ඔවුන් ජය ගත්තා නම් දෙරට අතර ශීතල යුද්ධයකට ශ්‍රී ලංකාව මැදි වීමට ඉඩ තිබුනා," ආචාර්ය ජයතිලක තවදුරටත් ප්‍රකාශ කරයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.