පළාත් සභාවලින් රට බෙදෙන්නේ නෑ - සරත් ෆොන්සේකා

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 13 අඟහරුවාදා - 12:28 GMT
Sarath Fonseka (file photo)

'එකපාරට දුර දිග බලන්නේ නැතිව, ඉතිහාසය ගැන දැනුමක් නැතිව මෝඩයෝ වගේ කෑගහන දේශපාලනඥයෝ හැමදාම ගත්තේ වැරදි තීන්දු'

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කොට තිබෙන පළාත් සභා මගින් රට බෙදීමක් සිදු නොවන බව පවසන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා 13 වැනි සංශෝධනය අහෝසි කිරීමට තම සහාය හිමි නොවන බව පවසයි.

ජනරාල් ෆොන්සේකා එම ප්‍රකාශය කළේ 13 වැනි සංශෝධනය අහෝසි කොට පළාත් සභා විසුරුවා හැරිය යුතු බවට විමල් වීරවංශ සහ චම්පික රණවක අමාත්‍යවරුන් පසුගියදා කළ ප්‍රකාශයට පතිචාරය දක්වමින්.

පළාත් සභා මගින් අනාගතයේදී ශ්‍රී ලංකාව බෙදුම්වාදය කරා තලු වීමේ අවදානමක් මතුවී ඇති බවයි අමාත්‍යවරුන් දෙදෙනාගේ තර්කය වී තිබෙන්නේ.

එහෙත් එම තර්කය බැහැර කරන හිටපු යුද හමුදාපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කොට තිබෙන්නේ දීර්ඝ කාලයක් මුළුල්ලේ ඉදිරිපත් වූ අවශ්‍යතාවයන් මත බව පෙන්වා දෙයි.

"එකපාරට දුර දිග බලන්නේ නැතිව, ඉතිහාසය ගැන දැනුමක් නැතිව මෝඩයෝ වගේ කෑගහන දේශපාලනඥයෝ හැමදාම ගත්තේ වැරදි තීන්දු," බව ද සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේය.

13 වැනි සංශෝධනයට එරෙහිව අමාත්‍ය වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනද එය කල් දැමූ බව පක්ෂය නිවේදනය කොට තිබේ.

අමාත්‍ය වීරවංශ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයකු වීම නිසා නීතිවේදීන්ගේ උපදෙස් මත එය කල් දමන ලද බව පක්ෂයේ ප්‍රකාශකයෙක් ඩේලි මිරර් පත්‍රයට ප්‍රකාශ කොට තිබිණ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.