සාමාන්‍ය වැසියන් රැක ගැනීමට නොහැකිවූ එක්සත් ජාතීන්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 14 බදාදා - 13:02 GMT
Lanka war

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේදී සාමාන්‍ය වැසියන් ආරක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අපොහොසත් වූ බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් කියා සිටී.

එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තවදුරටත් සහතික කළ නොහැකි බවට ශ්‍රී ලංකා ආණ්ඩුව අනතුරු ඇඟවීමෙන් අනතුරුව 2008 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය කාර්ය මණ්ඩලය යුද කලාපයෙන් ඉවත් කර ගත්තේය.කෙසේ වුවත් එසේ සිය කාර්ය මණ්ඩලය ඉවත් කර ගැනීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ආණ්ඩුවේ එම අනතුරු ඇඟවීම කිසිදු ප්‍රශ්න කිරීමකට ලක් නොකළ බව පවසන වාර්තාව එසේ ඉවත්වීම මගින් යුද කලාපයට සහන සැපයීමේදී මෙන්ම සාමාන්‍ය වැසියන් ආරක්ෂා කිරීමෙහිලාද එක්සත් ජාතීන්ගේ හැකියාව බරපතල අන්දමින් අඩපණ වූ බවද සඳහන් කරයි.

බෙන්ජමින් ඩික්ස් එසේ ඉවත් කරගන්නා ලද එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු වන අතර ඒ අවස්ථාවේදී තමන්ට දැනුනු අන්දම විස්තර කරමින්:

"මොකක්ද මේ වෙන්නේ? මේ මිනිස්සු ආරක්ෂා කරනවා, මෙතන සිද්ද වෙන දේ හරියට නිරීක්ෂණය කරනවා කියල නේද අපි පොරොන්දු වෙලා තියෙන්නේ? කියන ප්‍රශ්න තමයි සහන සේවකයෙක් විදියට එකපාරටම මගේ ඔළුවට ආවේ. ඊට පස්සේ හෙල්මට් එකක් දාගෙන, වෙඩි නොවදින ඇඳුම් ඇඳගෙන, විදේශිකයින් නිසා අපිට ලැබිල තිබුන ආරක්ෂාවත් එක්ක කොටුවෙලා හිටපු මේ මිනිස්සු පහුකරගෙන යනකොට... මගේ හමේ පාට ගැන මම එතරම් ලජ්ජා වෙච්ච වෙන දවසක් මට මතක නෑ "යැයි බෙන්ජමින් ඩික්ස් කියා සිටියේය.

බැගෑපත් ඉල්ලීම්

එක්සත් ජාතීන්ගේ සේවකයන් ප්‍රදේශයෙන් ඉවත් වෙද්දී තමන් අත් හැර නොයන මෙන් ඔවුන්ට බැගෑපත්ව ඉල්ලා සිටි බවයි දැනට බ්‍රිතානයේ දේශපාලන රැකවරණ ලබා සිටින මෙම දෙමළ කාන්තාව පවසන්නේ.

"අපි වැඳලා කිවුව එයාලට යන්න එපා කියල. ඒත් එයාල ඇහුවේ නෑ. ඒගොල්ල අපි කියපු දේ අහල නැවතුනා නම්, තවත් හුඟක් දෙනෙක් අදත් ජීවතුන් අතරේ ඉන්න තිබුන" යැයි ඇය කියා සිටී.

ඔවුන් විසින් අත් හැර දමා ගිය ලක්ෂ සංඛ්‍යාත මහ ජනකාය දෙපාර්ශවයේම අතවරයට ලක් වූ බව වාර්තාව සඳහන් කරයි. ඇතැමුන් එල් ටී ටී ඊ ය විසින් බලහත්කාරයෙන් සිය සංවිධානයට බඳවා ගන්නා ලද අතර, අනෙක් පිරිසට සිදුවූයේ ඉවක් බවක් නැතිව එල්ල වූ හමුදා ප්‍රහාරවලින් ජීවිත ගලවා ගැනීමේ සටනක යෙදීමට.

ආණ්ඩුවෙන් එල්ල වූ දැඩි පීඩනය

මේ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ පවා සාමාන්‍ය වැසියන්ගේ ජීවිත බේරා ගැනීම සිය ප්‍රධානම වගකීම බව වටහා ගැනීමට කොළඹ සිටි එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානීන් අසමත් වූ බවද වාර්තාවේ සඳහන්.

විශේෂයෙන්ම විවිධ මාර්ගවලින් පරීක්ෂා කොට තහවුරු කර ගන්නා ලද සාමාන්‍ය වැසියන්ගේ මරණ සංඛ්‍යාව පිලිබඳ සංඛ්‍යා ලේඛන ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතීන් ක්‍රියා නොකිරීම වාර්තාවේ දැඩි විවේචනයට ලක්ව තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් එල්ල වූ දැඩි පීඩනය හමුවේ එම මරණවලින් අති බහුතරය හමුදා ප්‍රහාරවල ප්‍රතිඵල බව එක්සාත් ජාතීන් විසින් සඟවන ලද බවයි වාර්තාව පවසන්නේ. එකල යුද කලාපයේ සිට ටැමිල් නෙට් වෙබ් අඩවියට සේවය කළ සුදා තමන් දුටු දේ මෙසේ විස්තර කළේය.

"පුඩුකුඩි ඉරුප්පු ඉස්පිරිතාලෙට බෝම්බ දමපු වෙලාවේ මම එතන හිටියේ.ඉස්පිරිතාලයක් කියල හොඳටම පේන විදියට සියලු සලකුණු එතන තිබුනා. නමුත් ඒ සේරම දැක දැක එතෙන්ට බෝම්බ දැම්මා. මම ඉස්සරහම කිහිප දෙනෙක්ම මැරෙනවා මම දැක්කා."

ශ්‍රී ලංකාව සම්බන්ධ මෙම වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට මහා ලේකම් බැන්කි මූන් අදහස් කරගෙන සිටින බවයි බීබීසීයට දැන ගැනීමට ලැබී තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙන් උගත් පාඩම් සිරියාවේ අර්බුදය විසඳීම සඳහා යොදා ගැනීමට ඔහු බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.

ප්‍රතිචාර

මෙම පුවත සම්බන්ධයෙන් ප්‍රතිචාර පළ කළ අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් එල්ල වූ දැඩි පීඩනය හේතුවෙන් සාමාන්‍ය වැසියන්ගේ ජීවිත බේරා ගැනීමට නොහැකි වුවා යන්න පිළිගත නොහැකි බවයි.

"එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි අයාතනයකට ශ්‍රී ලංකාව වැනි රටකට පීඩනයක් එල්ල කරන්න බැහැ" යැයි අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියේය.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.