ජවිපෙ ආණ්ඩුව සමඟ රහසිගත සම්මුතියක - පෙරටුගාමී පක්ෂයේ මන්ත්‍රී

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 16 සිකුරාදා - 13:15 GMT
JVP

'තමන්ගේ පක්ෂයෙන් පත් වෙච්ච වෙනස් මතයක් දරන මන්ත්‍රීවරයෙකුට අඩුම තරමේ ඒ මතය ඉදිරිපත් කරන්නවත් දෙන්නේ නෑ'

ආණ්ඩුවේ අවශ්‍යතාවයන් ඉටුකිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ රහසිගත සම්මුතියකින් ක්‍රියාකරන බවට එම පක්ෂයෙන් බිඳී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සහාය දක්වන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර පවසයි.

අජිත් කුමාර මන්ත්‍රීවරයා එම චෝදනාව එල්ල කළේ මෙවක් පටන් පාර්ලිමේන්තුවේදී ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙන් ක්‍රියා කිරීමට ගත තීන්දුව පිළිබඳව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්.

"2011 දී පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කළ වෙලාවේ, අනුර දිසානායක මන්ත‍්‍රීවරයා ඉතා පුළුල් විවේචනයක් ඉදිරිපත් කළා. ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ප‍්‍රශ්න කළේ, බත් වේලකට ඊට පක්ෂ වෙන්න ලැජ්ජ නැද්ද කියලා. මම දන්නේ නැහැ අද ජවිපෙ ඊට පක්ෂ වුණේ කෑම වේලකටද කියලා. කොහොම වුණත් එදා විරුද්ධ වුණු පනත කිසිදු අකුරක්, ඉස්පිල්ලක්, පා පිල්ලක් වෙනස් නොකර නැවත ඉදිරිපත් කළ වෙලාවේ එය සම්මත වෙන්න ඉඩ හැරියා," ඔහු පැවසීය.

එයට ප්‍රතිචාරය දක්වන අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසන්නේ අජිත් කුමාර මන්ත්‍රීවරයා ද ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටි බැවින් ඒ සඳහා ඡන්දයක් ඉල්ලා සිටීමට ඔහුට ද හැකියාව තිබුණු බවයි.

කෙසේ වුවද සංශෝධන එක් කරන බවට ආණ්ඩුව දුන් පොරොන්දු වලට ජවිපෙ එකඟ වූයේ මන්ද යන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මන්ත්‍රීවරයාගේ තර්කයයි.

Anura Kumara Disanayake, MP

අජිත් කුමාර මන්ත්‍රීවරයාගෙන් ලැබුණු ලිපියට ප්‍රතිචාර වශයෙන් ඒ සඳහා කාලය වෙන් කොට ඒ බව ඔහුට ලිඛිතවම දැනුම් දුන් බව අනුර කුමාර මන්ත්‍රීවරයා පවසයි

"ඉතිහාසේ පළමු වතාවට පාර්ලිමේන්තුවේ දෙන්නම් සංශෝධන වලට ජනතා විමුක්ති පෙරමුණ එකඟ වුනා," ඔහු ප්‍රශ්න කරයි.

පසුගිය මහ මැතිවරණයේදී ජනරාල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් තරග වැදුණු ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් අතරින් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ සුනිල් හඳුන්නෙත්ති, විජිත හේරත් සහ අජිත් කුමාර පමණි.

ජාතික ලැයිස්තුවේ අසුනකට නම් කෙරුණු අනුර කුමාර දිසානායක සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ නායකයා ලෙසද පත් කෙරිණ.

'ජවිපෙන් හිරිහැර'

ජනතා විමුක්ති පෙරමුණෙන් බිඳී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සහාය දීමට තීරණය කිරීමෙන් අනතුරුව තමන්ට ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ හිරිහැර වලට මුහුණ දීමට සිදුවී ඇති බවද අජිත් කුමාර මන්ත්‍රීවරයා පවසයි.

"ජනතා විමුක්ති පෙරමුණේ මේ මන්ත්‍රීවරු ඔවුන්ගේ ප්‍රකාශයයි, භාවිතාවයි අතරේ පරස්පරයක් තියෙනවා. එය ජනතා විමුක්ති පෙරමුණේ මේ මතවාදී බෙදීමටත් එක හේතුවක් වුනා," ඔහු පැවසුවේ, විශේෂයෙන්ම අය වැය විවාදයට එක්වීම සඳහා අවස්ථාව ලබා නොදීමට තරම් තත්ත්වය දුර දිග ගොස් ඇති බවද සඳහන් කරමින්.

"ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් ගල් තුන ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය කියල පුරසාරම් දොඩන මේ අය, එහි එක ආයතනයක් වෙච්ච ව්‍යවස්ථාදායකය ඇතුලේ තමන්ගේ පක්ෂයෙන් පත්වෙච්ච වෙනස් මතයක් දරන මන්ත්‍රීවරයෙකුට අඩුම තරමේ ඒ මතය ඉදිරිපත් කරන්නවත් දෙන්නේ නෑ," යන්න අජිත් කුමාර මන්ත්‍රීවරයා අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජවිපෙ මන්ත්‍රීවරුන්ට එල්ල කරන බරපතල චෝදනාවක්.

කෙසේ නමුත් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසන්නේ එය අසත්‍ය චෝදනාවක් බවයි.

පාර්ලිමේන්තුවේ කථාවක් පැවැත්වීමට අවශ්‍ය බවට ඉල්ලමින් පසුගිය 08 වැනි දින අජිත් කුමාර මන්ත්‍රීවරයාගෙන් ලැබුණු ලිපියට ප්‍රතිචාර වශයෙන් 10 වැනි දින ඒ සඳහා කාලය වෙන් කොට ඒ බව ඔහුට ලිඛිතවම දැනුම් දුන් බවයි අනුර කුමාර මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.