වැලිකඩ මරණ පරීක්ෂණවලට 'ජාත්‍යන්තර සංවිධාන කැඳවන්න'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 16 සිකුරාදා - 14:52 GMT
Welikada prison riot

ඝාතනයට ලක්වූ සිරකරුවන්ට වන්දි මුදලක් ප්‍රදානය කරන මෙන්ද එම සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල අධීක්ෂණය යටතේ වැලිකඩ බන්ධනාගාරයේදී ඝාතනයට ලක් වූ සිරකරුවන්ගේ මරණ පරීක්ෂණ පවත්වන්නැයි මානව හිමිකම් සංවිධානයක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය එම ඉල්ලීම කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.

පසුගිය නොවැම්බර් 09 වැනි සිකුරාදා වැලිකඩ බන්ධනාගාරයේ හටගත් ගැටුමේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් තෝරාගත් සිරකරුවන් පමණක් මරා දමා ඇති බවට සමාජයේ සැකයක් මතුවී තිබෙන බවයි, එම ව්‍යාපාරයේ සභාපති නීතිඥ නාමල් රාජපක්ෂ කියා සිටියේ.

එම සැකය දුරු කිරීම සඳහා ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ පරීක්ෂණයක් අවශ්‍ය බවයි, ඔහු පවසන්නේ.

එමෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ගනිමින් වැලිකඩ බන්ධනාගාරය වැටලීම නීති විරෝධී ක්‍රියාවක් බවත් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ මතයයි.

'මරණ සහතික නෑ'

Welikada prison riot

පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ගනිමින් වැලිකඩ බන්ධනාගාරය වැටලීම නීති විරෝධී ක්‍රියාවක් බවත් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ මතයයි

"බන්ධනාගාරය ඇතුලේ පරිපාලනය කරන්න බැරි නම් ඒ බන්ධනාගාර කොමසාරිස් තුමා අස් කරලා, නිලධාරීන් අස් කරලා වෙනත් බන්ධනාගාර නිලධාරීන් පත් කරන්න ඕනේ," බව ද නාමල් රාජපක්ෂ නීතිඥවරයා පැවසීය.

සෝදිසි මෙහෙයුමක් සඳහා වැලිකඩ බන්ධානාගාරයට කඩා වැදුණු විශේෂ කාර්ය බලකාය, සිරකරුවන්ට මාංචු දමා ඔවුන් කුපිත කරවන අන්දමින් හැසිරුණු බවත්, කුපිත වූ සිරකරුවන් කළහ කරන්නට වූ අවස්ථාවේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවත් ගැටුම අවස්ථාවේ එහි සිටි සිරකරුවෙක් බීබීසී සංදේශයට පැවසීය.

ඒ අවස්ථාවේ බන්ධනාගාරයේ ආයුධ ගබඩාව කඩා සිරකරුවන් ආයුධ අතට ගැනීමත් සමඟම පොලීසිය සහ සිරකරුවන් අතර වෙඩි හුවමාරුවක් හටගෙන තිබේ. එම ගැටුමේදී සිරකරුවන් 27 දෙනකු මියගිය අතර, පොලිස් නිලධාරීන් ඇතුළු තවත් විශාල පිරිසකට තුවාල සිදුවිය.

ගැටුම හමාර වීමෙන් අනතුරුවත්, හමුදා භටයන් විසින් නිරායුධ සිරකරුවන් වෙඩි තබා මරා දැමූ බව මියගිය සිරකරුවෙකුගේ මව සංදේශයට කියා සිටියාය. නමුත් බන්ධනාගාර මාත්යාංශයේ ලේකම්වරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

මේ අතර අදහස් දැක්වූ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ උප සභාපති සත්‍යවේල් පියතුමා කියා සිටියේ ඝාතනය වූ සිරකරුවන්ට මරණ සහතික ලබාදීමට පවා කටයුතු කොට නොමැති බවයි.

ඝාතනයට ලක්වූ සිරකරුවන්ට වන්දි මුදලක් ප්‍රදානය කරන මෙන්ද එම සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.