දෝෂාභියෝග විභාගය තහනම් කරන්න - අධිකරණයට පෙත්සමක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 19 සඳුදා - 12:21 GMT
CJ Shirani Bandaranayake

අදාළ චෝදනා සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා අගවිනිසුරුවරියට ප්‍රමාණවත් කාලයක් නොලැබෙනු ඇති බව ද පෙත්සමේ සඳහන්

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ඉදිරිපත් කොට තිබෙන දෝෂාභියෝග චෝදනා සම්බන්ධ විභාග කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් සාධාරණ පරීක්ෂණයක් අපේක්ෂා කළ නොහැකි බව පවසන පෙත්සම් කරුවෙක් එයට එරෙහිව රිට් තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට තිබේ.

ගණකාධිකාරී වරයකු වන චන්ද්‍රා ජයරත්න විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමේ සඳහන් වන්නේ අගවිනිසුරු වරියට එරෙහි චෝදනා විභාග කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අධිකරණ බලයක් නොමැති බැවින් නීතියෙන් පිළිගත් මූලධර්ම වලට අනුව විනිශ්චයක් නොලැබී යාමට ඉඩකඩ පවතින බවයි.

අදාළ චෝදනා සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා අගවිනිසුරුවරියට ප්‍රමාණවත් කාලයක් නොලැබෙනු ඇති බවද පෙත්සමේ සඳහන්.

විශ්‍රාමික විනිශ්චයකරුවන් හෝ නීති ක්ෂේත්‍රයේ විශාරදයන්ගෙන් සමන්විත කමිටුවක් මෙවැනි චෝදනා විභාග කිරීම සඳහා වඩා යෝග්‍ය බවයි, පෙත්සමේ සඳහන් වන්නේ.

පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ ප්‍රකාශයක් කළ අභියාචනාධිකරණයේ සභාපති ශ්‍රී ස්කන්ධරාජා විනිසුරුවරයා, පෙත්සම සම්බන්ධයෙන් වැදගත් නීතිමය ගැටළු කිහිපයක් නිරාකරණය කළ යුතුව තිබෙන බැවින් ත්‍රී-පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අඟහරුවාදා යලිත් පෙත්සම කැඳවන බවයි.

චෝදනා 14 ක් පදනම් කරගෙන අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් පසුගියදා දෝෂාභියෝග චෝදනා පත්‍රයක් කතානායකවරයාට ඉදිරිපත් කළ අතර, ඉන් අනතුරුව එම චෝදනා විභාග කිරීම සඳහා කතානායක චමල් රාජපක්ෂ විසින් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හත් දෙනකු සහ විපක්ෂ මන්ත්‍රීවරුන් සිවු දෙනකු ගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලදි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති අමාත්‍යවරයා ඇතුළු සාමාජිකයන් සියලු දෙනා පෙත්සමේ වග උත්තර කරුවන් ලෙසින් නම් කොට තිබේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.