සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව විශාල මුදල් නාස්තියක් - එජාප

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 27 අඟහරුවාදා - 14:23 GMT
Launching of a satellite in China

ආණ්ඩුවට ගත්තත්, සමාගමට ගත්තත්, භාණ්ඩාගාර බැඳුම්කර අරගෙන තියෙන්න ඕනේ. එහෙම අරන් තියෙනවා නම් කොහොමද ආණ්ඩුව ඒ සමාගමට ඒ සහතිකය දුන්නේ?

ශ්‍රී ලංකා සමාගමක් සහ චීනය එක්බද්ධව කක්ෂගත කරන ලද චන්ද්‍රිකාව අති විශාල මුදල් නාස්තියක් ලෙස සැක කිරීමට හේතු සාධක තිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව කක්ෂගත කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 320 ක් වැයවී තිබෙන බවයි මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් එජාප ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ.

"මේ චන්ද්‍රිකාව සඳහා චීන ආණ්ඩුවෙන් ණය මුදලක් ගත්ත නම්, ආණ්ඩුවට ගත්තත්, සමාගමට ගත්තත්, සමාගම යම්කිසි ඇපයක් සමාගම වෙනුවෙන් දීල තියෙන්න ඕනේ. භාණ්ඩාගාර බැඳුම්කර අරගෙන තියෙන්න ඕනේ. එහෙම අරන් තියෙනවා නම් සමාගම, කොහොමද ආණ්ඩුව ඒ සමාගමට ඒ සහතිකය දුන්නේ?,"

කෙසේ නමුත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරන ආණ්ඩුව චන්ද්‍රිකාව කක්ෂගත කරන්නේ රටේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඉදිරි පියවරක් ලෙසින්.

'විශිෂ්ට වූ මංසන්ධියක්'

"ඒ සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ, විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය නෑ. රුපියල් කෝටි 5000 ක ගනුදෙනුවක් සිදුවෙලා තියෙනවා නම්, ඒ ගනුදෙනුව ගැන අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව දැනුවත් කරන්න ඕනේ"

එජාප ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා

මේ පිළිබඳව කරුණු දක්වන තරුණ කටයුතු පිලිබඳ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසන්නේ මෙය කිසිසේත්ම මහජන මුදල් යොදාගෙන කෙරෙන කටයුත්තක් නොවන බවයි.

"දැන් රෝහිත රාජපක්ෂ කියන තරුණයා මේකට සම්බන්ධ වෙලා නොහිටිය නම් මොකක්ද අද කියන්නේ?" ඇමතිවරයා ප්‍රශ්න කරයි.

කෙසේ නමුත් සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධ කරුණු ගණනාවක් වසන් කිරීමට උත්සාහ දරන බවටද එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට චෝදනා කරයි.

"ඒ සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ, විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය නෑ. රුපියල් කෝටි 5000 ක ගනුදෙනුවක් සිදුවෙලා තියෙනවා නම්, ඒ ගනුදෙනුව ගැන අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව දැනුවත් කරන්න ඕනේ," තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පැවසීය.

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව මඟින් ලබා ගන්නා සියලුම දත්ත චීනය සමඟ හුවමාරු කරගත යුතු බව මෙම ගනුදෙනුවේ කොන්දේසියක් වීම ඉතා බරපතල තත්ත්වයක් බවද එජාපය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් එයට ප්‍රතිචාරය පළ කරන ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා සියලු දේ සම්බන්ධයෙන් දේශපාලන කන්නාඩියකින් බලා පූර්ව නිගමනවලට එළඹෙන බවට විපක්ෂයට චෝදනා කරයි.

"මේක ජාතිකව අපට වැදගත් වෙන අවස්ථාවක්. නූතණත්වය කරා යන ගමනේ මේක ඉතා විශිෂ්ට වූ මංසන්ධියක්," බවයි ඔහු පවසන්නේ.

එහෙත් චීන තාක්ෂණය යොදා ගැනීම හේතුවෙන් නොරොච්චෝලේ තාප බලාගාරය ඇතුළු බොහෝ ස්ථානවලදී ශ්‍රී ලංකාව දැනමටත් ගැටළු ගණනාවකට මුහුණ දී සිටින බවද තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.