පුද්ගල ජාවාරම මැඩලීමට සිව් වැදෑරුම් සැලසුමක් - ඕස්ට්‍රේලියාව

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 17 සඳුදා - 14:21 GMT
Sri Lankan caught while trying to leave for Australia (file photo)

පුද්ගල ජාවාරම මැඩලීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සහ රහස් ඔත්තු සේවා නිලධාරීන් පුහුණු කරන බව ඕස්ට්‍රේලියාව පවසයි

පුද්ගල ජාවාරම මැඩලීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සහ රහස් ඔත්තු සේවා නිලධාරීන් පුහුණු කිරීම ඇතුළු සිව් වැදෑරුම් සැලසුමක් ඕස්ට්‍රේලියාව නිවේදනය කළේය.

මානව හිමිකම් තත්ත්වය නගා සිටුවීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා වර්ධනය කිරීමේ මාර්ගය බවද ඕස්ට්‍රේලියාව පවසයි.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ඕස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍ය රොබට් ජෝන් (බොබ්) කාර් ඒ බව පැවසුවේ සිය සංචාරය හමාරයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

විශේෂයෙන්ම ලබන වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කරන බවට කැනඩාව දැනටමත් කොට තිබෙන ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ මත සංහිඳියාව සඳහා පියවර ගැනීම සමුළුවට කැනඩාව කැඳවා ගැනීමේ මාර්ගය බවයි.

හරිත පක්ෂය

"පුද්ගල ජාවාරම් සහ සංක්‍රාමී අපරාධ සම්බන්ධ සමාරම්භක ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමට" සහභාගි වීම සඳහායි, ඔහු කොළඹට පැමිණ සිටින්නේ. එය පැවැත්වෙන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

යුද්ධයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාදාමය ශ්‍රී ලංකාවේ "ස්ථාවරත්වයට සහ සමෘද්ධියට සමගාමීව ප්‍රගතියක් ලබමින්" තිබෙන බැවින් ඒ සඳහා ඕස්ට්‍රේලියාව සිය ආධාර වැඩසටහන යටතේ සහයෝගය දක්වන බවයි, විදේශ අමාත්‍ය බොබ් කාර් ප්‍රකාශ කරන්නේ.

දිළිඳු සහ ග්‍රාමීය ප්‍රජාවන් නගා සිටුවීම සඳහා පස් වසරක කාල සීමාවක් ඇතුලත ඩොලර් හාර කෝටි පණස් ලක්ෂයක ආධාරයක් ප්‍රදානය කරන බව පවසන ඕස්ට්‍රේලියානු ආණ්ඩුව, තමන් මේ වනවිටත් නිවාස 5000 ක් සහ පාසල් 23 ක් ඉදි කරමින් සිටින බවද ප්‍රකාශ කරයි.

මේ අතර ප්‍රකාශයක් නිකුත් කරන ඕස්ට්‍රේලියාවේ හරිත පක්ෂය, දිගින් දිගටම මානව හිමිකම් උල්ලංඝනය කරමින් සිටින බවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට චෝදනා එල්ල වෙමින් තිබෙන සමයක ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහ රහස් ඔත්තු අංශවලින් සම්බන්ධතා තර කර ගැනීමට විදේශ අමාත්‍යවරයා ගත තීරණය දැඩි විවේචනයට ලක් කරයි.

විශේෂයෙන්ම දෙමළ ජාතික කාන්තාවන් ලිංගික අපයෝජනයට ලක් කෙරෙන බවට සහ ඔවුන් වධ බන්ධනවලට ලක් කරන බවට ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව බොහෝ චෝදනා එල්ල වී තිබෙන බවයි, හරිත පක්ෂයේ සෙනෙට් සභික ලී රියානන් විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වෙන්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.