ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව කැනඩාවේ අවධානය

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 7 සඳුදා - 14:42 GMT
War displaced in Sri Lanka

යුද්ධයෙන් අවතැන්වූ පුද්ගලයන්ට නිසි වාසස්ථාන ලබාදී දේශපාලන සංහිඳියාවක් සඳහා ශ්‍රී ලංකා බලධාරීන් අවංක උත්සාහයක් දරනු ඇතැයි කැනඩාව බලාපොරොත්තු පල කරයි

පශ්චාත් යුද කාලීන ශ්‍රී ලංකාවේ දිගින් දිගටම සිදුවෙමින් පවතින මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව තම දැඩි අවධානය පලවී තිබෙන බව කැනඩාව පවසයි.

විශේෂයෙන්ම යුද්ධයෙන් අනතුරුව ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීමේ ක්‍රියාදාමයේ ප්‍රබල ප්‍රගතියක් දක්නට නොමැතිවීමත්, යුද්ධයේ අවසාන භාගයේදී සිදුවූ බව පැවසෙන අපරාධ සම්බන්ධයෙන් දඬුවම් පැමිණවීමේ ක්‍රියාදාමයක් නොමැතිවීමත් තම අවධානයට ලක්වී තිබෙන අනෙක් කරුණු අතර වන බවයි, සංක්‍රමණික කටයුතු පිලිබඳ කැනේඩියානු අමාත්‍ය ජේසන් කෙනී පවසන්නේ.

අමාත්‍යවරයා ඒ අදහස් පළ කළේ ශ්‍රී ලංකා සංචාරයකින් අනතුරුව කොළඹදී මාධ්‍යවේදීන් අමතමින්.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයේ වර්ධනයක් සිදු නොවන්නේ නම්, ලබන නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගි නොවන බවට අගමැති ස්ටීවන් හාපර් නිවේදනය කළේ මේ තත්ත්වය නිසා බවයි, අමාත්‍යවරයා කියා සිටියේ.

දශක ගණනාවක යුද ගැටුමක් හමාර වීමෙන් අනතුරුවත් ශ්‍රී ලංකාවේ ජනතාව තවමත් දිගින් දිගටම නීති විරෝධී ලෙසින් ඕස්ට්‍රේලියාව, කැනඩාව ඇතුළු රටවලට පලා යාමට උත්සාහ දැරීම පිළිබඳවත් තම අවධානය පලවී තිබෙන බවද සංක්‍රමණික කටයුතු පිලිබඳ කැනේඩියානු අමාත්‍ය ජේසන් කෙනී සඳහන් කළේය.

කැනඩාවට නීති විරෝධී ලෙසින් පුද්ගලයන් ප්‍රවාහනය කරන මිනිස් ජාවාරමේ යෙදෙන්නන්ට වැට බැඳීමේ අරමුණින් පසුගිය වසරේදී කැනඩාවේ නීති දැඩි කරන ලද බවද ඔහු පැවසීය.

සියලුම ආකාරයේ ත්‍රස්තවාදයට සහ අන්තවාදයට කැනඩාව විරුද්ධ බව අවධාරණය කරන අමාත්‍ය කෙනී වැඩිදුරටත් කියා සිටියේ කෙසේ නමුත්, කැනඩාව මානව හිමිකම් සුරැකීම පිළිබඳව බරපතල අවධානය පල කරන බවයි.

මේ තත්ත්වය යටතේ සියලු පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් මානව හිමිකම්වලට ගරු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව පවසන ඔහු, විශේෂයෙන්ම දේශපාලන සංහිඳියාවක් සඳහා ශ්‍රී ලංකා බලධාරීන් අවංක උත්සාහයක් දරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

විශේෂයෙන්ම යුද්ධයෙන් අවතැන්වූ පුද්ගලයන්ට නිසි වාසස්ථාන ලබාදීම සහ උතුරු පළාතේ මිලිටරිකරණය ඉවත්කිරීම වැනි කරුණු ඒ සඳහා අත්‍යවශ්‍ය සාධකයන් බවද අමාත්‍ය කෙනී සඳහන් කළේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.