ලසන්ත ඝාතනයට සිවු වසරයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 8 අඟහරුවාදා - 14:31 GMT
Lasantha Wickaramathunga (file photo)

මින් සිවු වසරකට පෙර සිදුවූ පුවත්පතේ නිර්මාතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ පරීක්ෂණවල කිසිදු ප්‍රගතියක් දකින්නට නැහැ

ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයෙන් සිවු වසරක් ගතවෙමින් තිබියදී, ඔහු එදා කර්තෘ පදවිය හෙබවූ සන්ඩේ ලීඩර් පුවත්පතේ ආණ්ඩු විරෝධී ස්ථාවරය දියාරු වෙමින් තිබෙන බවට සැක සංකා පලවෙමින් තිබේ.

2009 ජනවාරි 08 වැනි දින යතුරු පැදිවලින් පැමිණි පිරිසක් විසින් ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසේ තත්ත්වය පිළිබඳව යලිත් වරක් ලොව පුරා අවධානය පළවීමට හේතු විය.

එහෙත් අද වනතුරුම ඔහුගේ ඝාතකයන් හමුවී නැත.

ඔහුගේ ඝාතනයෙන් අනතුරුවත් ආණ්ඩුවේ දූෂණ හෙළිදරවු කිරීමේ සිය ගවේෂණශීලී මාධ්‍ය ප්‍රතිපත්තිය දිගටම පවත්වාගෙන යාමට සන්ඩේ ලීඩර් පුවත්පත කටයුතු කළේය.

කෙසේ නමුත් පසුගිය පෙබරවාරි මාසයේදී රටේ ඉහල නායකයන් සමඟ සමීප සබඳතා පවත්වන ව්‍යාපාරිකයෙක් පුවත්පත මිලදී ගත්තේය.

අලුත් හිමිකරු

ඉන් මාස කිහිපයකට පසුව, පසුගිය සැප්තැම්බරයේදී ප්‍රකාශයක් කළ පුවත්පතේ කතුවරිය ෆ්‍රෙඩ්රිකා ජෑන්ස්, පුවත්පතේ අලුත් හිමිකරුගේ දේශපාලන මතයට අවනත නොවීමේ හේතුවෙන් තමන් පදවියෙන් පහ කරන ලද බව ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව ඇය රටින් පලා ගියාය.

ඉන් අනතුරුව පත්කරන ලද නව කර්තෘවරිය යටතේ පුවත්පතේ පලවූ පැරණි වාර්තා ගණනාවක් පිළිබඳව සමාව ඉල්ලන ලද අතර, ආණ්ඩුව දැඩි විවේචනයට ලක් කළ බොහෝ තීරු ලිපි රචකයෝද පුවත්පත හැර ගියහ.

මෙයින් හැඟවෙන්නේ පුවත්පතේ ප්‍රතිපත්ති දැන් වෙනස් වී ඇති බවක්ද?

කෙසේ නමුත් සිදුව තිබෙන්නේ පුවත්පතේ ප්‍රතිපත්ති වෙනසක් නොව නවමු නිමාවකින් පුවත්පත 'යලි එලි දැක්වීමක්' පමණක් බවයි, නව කතුවරිය ශකුන්තලා පෙරේරා පවසන්නේ.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති අසංග සෙනවිරත්න පුවත්පතේ නව හිමිකරුවායි. සමාගමේ කොටස්වලින් 72% ක් ඔහු සතු අතර ලසන්තගේ සොහොයුරා, ලාල්, ඉතිරි කොටස්වල හිමිකරුවායි.

පුවත්පතේ වාර්තාකරණය සම්බන්ධයෙන් ඔහු කිසිදු බලපෑමක් නොකරන බවද කතුවරිය පවසන්නීය.

මේ අතර මින් සිවු වසරකට පෙර සිදුවූ පුවත්පතේ නිර්මාතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ පරීක්ෂණවල කිසිදු ප්‍රගතියක් දකින්නට නැහැ.

ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි දෙමළ ජාතික සැකකරුවෙකු මීට මාස 14 කට පෙර අද්භූත අන්දමින් බන්ධනාගාරයේදී මියගිය අතර, ඔහු කුහුඹුවෙකු පවා නොමරන අහිංසක මිනිසෙකු බවයි, ඔහුගේ පවුලේ සාමාජිකයන් කියා සිටියේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.