ඇමතිවරු ජනාධිපති නොමඟ යවනවා - බොදු බල සේනා

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 8 සිකුරාදා - 16:09 GMT
Minister Nimal Siripala de Silva with the President

පාර්ලිමේන්තු විවාදයේදී ආණ්ඩුව වෙනුවෙන් කරුණු දැක්වූයේ සභානායක නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයායි

ශ්‍රී ලංකාවේ ඇතැම් මැති ඇමතිවරුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ පවා නොමඟ යවමින් සිටින බව බොදු බල සේනා සංවිධානය පවසයි.

ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඒ බව පැවසුවේ කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින්.

ශ්‍රී ලංකාවේ සුළුතර මුස්ලිම් ප්‍රජාවට එරෙහිව එල්ල වෙමින් තිබෙන ප්‍රහාර, තර්ජන සහ චෝදනා පිළිබඳව බ්‍රහස්පතින්දා පැවති පාර්ලිමේන්තු විවාදයේදී මතු වූ අදහස්වලට ප්‍රතිචාරය පළ කිරීම සඳහායි, එම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ.

"අපිට විශාල සැකයක් තියෙනවා, කවුරුන් හෝ ජනාධිපතිතුමාව අපහසුතාවයට පත් කරන්න යටි උගුල් අටවනවාද කියල අපිට හිතෙනවා," එහිමියෝ පැවසූහ.

විපක්ෂනායක රනිල් වික්‍රමසිංහගේ යෝජනාවක් අනුව පැවැත්වුණු එම විවාදයේදී ආණ්ඩුව වෙනුවෙන් කරුණු දැක්වූ සභානායක නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා, මුස්ලිම් ජනතාවට ප්‍රහාර එල්ල වූ සිදුවීම් සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් පියවර පිලිබඳ විස්තරයක් සභා ගත කළේය.

ගමෙන් පිටව යන මෙන් තර්ජන

එසේ සභා ගත කළ කරුණු මඟින් "දැන හෝ නොදැන" අමාත්‍යවරයා රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කොට ඇති බවට ද බොදු බල සේනා සංවිධානය චෝදනා කරයි.

Sri Lanka parliment

රට තුල මතු වී තිබෙන "භයානක තත්ත්වයට" විසඳුම් දීමට අපොහොසත් වී ඇති බවට එජාපය ආණ්ඩුවට චෝදනා කරයි

මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ලවෙමින් පවතින ප්‍රහාර සහ බලපෑම් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට අපොහොසත් වූ බවට මුස්ලිම් නායකයෝ ද මේ අතර ආණ්ඩුවට චෝදනා කරති.

තමන් මතු කළ කරුණුවලට ආණ්ඩුව නිසි ප්‍රතිචාරයක් ලබා නොදුන් බව පවසන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කබීර් හෂීම්, රට තුල මතු වී තිබෙන "භයානක තත්ත්වයට" විසඳුම් දීමට අපොහොසත් වී ඇති බවට ආණ්ඩුවට චෝදනා කරයි.

"ජාතීන් අතර මේ මතුවෙලා තියෙන ගැටළුවට විසඳුම සඳහා ආණ්ඩුව මැදිහත් වෙලා ගන්න විසඳුම කුමක්ද කියල කිවුවේ නෑ," මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට පැවසීය.

මුස්ලිම් ජනතාව වසර සියයක් පමණ ජීවත් වූ හොරොවුපතාන ආසනයේ ආන්දොලුවාව ගම්මානයෙන් පිටව යන මෙන් කිසියම් පිරිසක් තර්ජනය කොට ඇති බවත්, මේ වනතුරු එයට එරෙහිව පියවර ගැනීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම මස් වලට හලාල් සහතිකයක් නිකුත් කිරීමට ජමියතුල් උලමා සභාව ගෙන ඇති පියවර දැඩි විවේචනයට ලක් කරන බොදු බල සේනා සංවිධානය එයට එරෙහි උද්ඝෝෂණය දිගටම ක්‍රියාත්මක කරන බව ද පවසයි.

කෙසේ වුවත් අනිවාර්යයෙන්ම එවැනි සහතිකයක් ලබා ගත යුතු බවට කිසිදු බලපෑමක් නොකරන බව ආණ්ඩුව මෙන්ම උලමා සභාව ද අවධාරණය කරති.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.