දේශපාලන පක්ෂ මාර්ගයෙන් 'කැරලිකාර මතවාද විකාශය කළ හැකියි'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 11 සඳුදා - 12:30 GMT
Gotabhaya Rajapaksa

මානව හිමිකම් ප්‍රශ්න මතු කරමින් උතුරේ සංවර්ධනය අවතක්සේරු කරන බවට ආරක්ෂක ලේකම්වරයා බටහිර රටවලට චෝදනා කරයි

යුද ගැටුමකින් අනතුරුව පරාජිත ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ මාර්ගයෙන් කැරලිකාර මතවාදයන් විකාශය කිරීමට ඉඩ තිබෙන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ආරක්ෂක තත්ත්වය ලිහිල් කිරීමේ දී එම තත්ත්වය උත්සන්න විය හැකි බවයි, ඔහු පවසන්නේ.

දේශීයව සහ ජාත්‍යන්තරව වෙසෙන එල්ටීටීඊ හිතවාදීන් ශ්‍රී ලංකාවේ යලිත් වරක් අර්බුදයක් ඇති කිරීමට කටයුතු කරනු ඇති බව පවසන ආරක්ෂක ලේකම්වරයා, එයින් ආරක්ෂා වීම සඳහා පියවර ගැනීමේ දී ලිහිල් ක්‍රියා මාර්ග අනුගමනය කිරීමට රජය සූදානම් නැති බව ද සඳහන් කරයි.

ඔහු එම අදහස් ප්‍රකාශ කළේ "තම දේශයට සීමා වූ අර්බුදයක දී ජාතීන් මුහුණ දෙන දේශපාලන සහ රාජ්‍යතාන්ත්‍රික අභියෝග" මැයෙන් කොළඹ ලක්ෂමන් කදිරගාමර් ශ්‍රවණාගාරයේ පැවැත්වුණු සම්මන්ත්‍රණයක් අමතමින්.

මානව හිමිකම්

ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් ප්‍රශ්න මතු කරමින් විශේෂයෙන්ම උතුරේ සංවර්ධනය අවතක්සේරු කරන බවට ආරක්ෂක ලේකම්වරයා මේ අතර බටහිර රටවලට චෝදනා කරයි.

කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවලට කාලාන්තරයක් මුළුල්ලේ සංක්‍රමණය වූ දෙමළ ජනතාව දැන් එම රටවල පුරවැසි භාවය ලබාගෙන සිටින බව පෙන්වා දෙන ඔහු, ඔවුන් අතර බොහෝ එල්ටීටීඊ ක්‍රියාකාරිකයන් සිටින බව ද ප්‍රකාශ කරයි.

එල්ටීටීඊය ට එරෙහි යුද්ධය පිළිබඳව ඔවුන් සිය රටවලට වැරදි චිත්‍රයක් මවා පෙන්වූ බවයි, ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ.

එහි ප්‍රතිඵලයක් ලෙසින් පසුගිය වසර කිහිපය තුල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඇතුළු විවිධ සංවිධාන මඟින් ඉහත කී රටවල ආණ්ඩු ශ්‍රී ලංකාවට බලපෑම් කරමින් සිටින බව ද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

තිස් අවුරුදු යුද්ධයක් අවසානයේ ශ්‍රී ලංකාව ඉතා සාර්ථකව සමාජ සංවර්ධනය සහ පුනරුත්ථාපන අභියෝගයන්ට මුහුණ දුන් බව පවසන ආරක්ෂක ලේකම්වරයා, ශ්‍රී ලංකාවට චෝදනා නඟන බොහෝ දෙනා සිත් පිත් නැති සංවිධානයක් ලෙසින් ජාත්‍යන්තරව පවා පිළිගත් එල්ටීටීඊය ට සම්බන්ධ පුද්ගලයන් බව ද පවසයි.

යුද්ධයේදී එල්ටීටීඊ යේ මිලිටරි නායකත්වය විනාශ කෙරුණ ද එය එල්ටීටීඊ සංවිධානයේ එක් කොටසක් පමණක් බව අවබෝධ කර ගත යුතු බව පවසන ඔහු, සංවිධානයේ සෙසු කොටස් තවමත් නිදහසේ සිටින බවත් අවධාරණය කරයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.