නවලෝක රෝහලේ මරණය ගැන 'වෛද්‍යවරු බොරු කියනවා'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 12 අඟහරුවාදා - 15:32 GMT

කොළඹ නවලෝක රෝහලේ දී එම් ආර් අයි ස්කෑන් යන්ත්‍ර පරීක්ෂාවට භාජනය කළ අවස්ථාවේ මියගිය සිය දියණියගේ මරණය පිළිබඳව සත්‍යය අනාවරණය නොකරන බවට එම දැරියගේ දෙමාපියෝ චෝදනා කරති.

ප්‍රතිකාර ලබාදීම පිණිස රෝහලට ඇතුලත් කරන ලද බුද්ධිනී කෞශල්‍යා දියණිය ස්කෑන් යන්ත්‍ර පරීක්ෂාවෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරන ලදුව මියගිය බව චමිලා ඒකනායක මාතාව බීබීසී සංදේශයට කියා සිටියාය.

"රෝහලේ ඉන්න වෛද්‍යවරුන් ලොකු බොරුවක් ගෙනියන්න ලෑස්ති වෙනවා. ඒගොල්ලන් කියන්න හදනවා මේ බබාට උත්පත්තියේ ඉඳන් වලිප්පු රෝගයක් තිබුණා, තදබල ස්නායු රෝගයක් තිබුනා නමුත් එහෙම තත්ත්වයක් වෙලා නෑ," බවයි, ඇය පවසන්නේ.

"රෝහලේ ඉන්න වෛද්‍යවරුන් ලොකු බොරුවක් ගෙනියන්න ලෑස්ති වෙනවා. ඒගොල්ලන් කියන්න හදනවා මේ බබාට උත්පත්තියේ ඉඳන් වලිප්පු රෝගයක් තිබුණා, තදබල ස්නායු රෝගයක් තිබුනා නමුත් එහෙම තත්ත්වයක් වෙලා නෑ"

මියගිය දැරියගේ මව, චමිලා ඒකනායක

සාමාන්‍ය අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම පිණිස රෝහලට රැගෙන ගිය සිය දියණියගේ ජීවිතය අහිමි වීමේ වගකීම නවලෝක රෝහලේ වෛද්‍යවරුන් සහ කළමනාකරණය භාර ගත යුතු බව චමිලා ඒකනායක මාතාව අවධාරණය කරන්නීය.

"එම් ආර් අයි ස්කෑන් යන්ත්‍රයට ළමය දීල විනාඩි දහයකින් මගේ සුදු දුව මම දැක්කේ නිල් වෙච්ච කළුම කළුවෙච්චි ලොකු බඩක් තියෙන දරදඬු සිරුරකින්," ඇය තවදුරටත් කියා සිටියාය.

වෛද්‍යවරුන්ගේ හෝ රෝහලේ වරදක් නොමැති නම් දරුවාට නොමිලේ ප්‍රතිකාර ලබා දෙන බවට පොරොන්දු වූයේත්, තමන්ට පවා නොදන්වා නොමිලේ අවමංගල රථයක් සැපයීමට රෝහල් බලධාරීන් ක්‍රියා කළේත් මන්දැයි ඇය ප්‍රශ්න කරන්නීය.

සිදුවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයාටද ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පවසන දැරියගේ මව, මුදලට සහ බලයට යට නොවී සාධාරණ පරීක්ෂණයක් පැවැත්වුවහොත් තමන්ට සාධාරණයක් සිදුවනු ඇතැයි බලාපොරොත්තු පළ කරන්නීය.

මෙම චෝදනා පිළිබඳව නවලෝක රෝහලේ අධිපති ජයන්ත ධර්මදාස ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.