හිටපු එල්ටීටීඊ සාමාජිකයෝ 'යලිත් අත් අඩංගුවේ'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 15 සිකුරාදා - 15:59 GMT
Tamil Tigers

අත් අඩංගුවට ගන්නා ලද හිටපු එල්ටීටීඊ සාමාජිකයන් තිදෙනකුගේ ඥාතීන් ඒ පිළිබඳව දෙමළ ජාතික සන්ධානයට පැමිණිලි කොට තිබේ

පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය විසින් හිටපු එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් යලිත් වරක් අත් අඩංගුවට ගෙන දකුණේ රැඳවුම් කඳවුරුවලට යවා ඇතැයි දෙමළ ජාතික සන්ධානය (දෙජාස) පවසයි.

මඩකලපුවේ වාකරේ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගන්නා ලද හිටපු එල්ටීටීඊ සාමාජිකයන් තිදෙනකුගේ ඥාතීන් ඒ පිළිබඳව තමන්ට පැමිණිලි කරන ලද බව දෙජාස පාර්ලිමේන්තු මන්ත්‍රී එස් යෝගේෂ්වරන් බීබීසී සංදේශයට පැවසීය.

සිවිල් ඇඳුමින් සැරසුන පිරිසක් සිය නිවසට පැමිණ අත්සන ලබා ගැනීම සඳහා කදිරවේලි පොලිස් ස්ථානයට එන මෙන් සැමියාට නියෝග කළ බවත්, ඔහු පාපැදියෙන් පොලීසියට ගිය පසුව බූස්ස කඳවුරට පිටත් කරන බැවින් පැමිණ පාපැදිය රැගෙන යන මෙන් තමන්ට පණිවුඩයක් ලැබුන බවත් එසේ අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයෙකුගේ භාර්යාව පවසන්නීය.

බූස්ස කඳවුරට

"සැමියා මුහුදු කොටි නායකයෙක් විදියට ඉඳල තියෙනවා, ප්‍රශ්ණයක් නැත්නම් ප්‍රශ්න කරලා මුදා හරිනවා කියලත් ඒගොල්ල කිවුවා"

අත් අඩංගුවට පත් හිටපු එල්ටීටීඊ සාමාජිකයකුගේ බිරිඳ

"ඕනේ නම් බූස්සට ඇවිල්ල බලන්න කියල එයාල කිවුව. සැමියා මුහුදු කොටි නායකයෙක් විදියට ඉඳල තියෙනවා, ප්‍රශ්ණයක් නැත්නම් ප්‍රශ්න කරලා මුදා හරිනවා කියලත් ඒගොල්ල කිවුවා, " යනුවෙන්ද එම දෙදරු මාතාව සංදේශයට කියා සිටියාය.

හදිසි නීති විධිවිධාන හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගන්නා පුද්ගලයන් සඳහා වූ කුවිතාන්සියක් තමන්ට ලැබුන බව පවසන එම භාර්යාව, දුරකතනයෙන් කථා කිරීමට සහ ඔහුට ඇඳුම් ලබාදීමට තමන්ට අවස්ථාව ලැබුන බව ද සඳහන් කළාය.

නැගෙනහිර පළාතේ සිදුවන මෙවැනි අත් අඩංගුවට ගැනීම් පිළිබඳව දෙජාස නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී එස් යෝගේෂ්වරන් ප්‍රකාශ කළේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.