අප්‍රේල් මාසයට පෙර 'හලාල් සහතිකය ඉවත් කර ගන්න'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 17 ඉරිදා - 13:58 GMT
BBS rally in Maharagama on Sunday

මෑත මාස කිහිපය තුල තමන්ට ප්‍රහාර එල්ල වූ බව බොහෝ මුස්ලිම් සහ ක්‍රිස්තියානි සංවිධාන පවසති

මස් වර්ගවලට හලාල් සහතිකය නිකුත් කිරීමේ වැඩ පිළිවෙල මාර්තු 31 වැනි දිනට පෙර ඉවත් කර ගන්නැයි බොදු බල සේනා සංවිධානය ශ්‍රී ලංකාවේ මුස්ලිම් නායකයන්ට බල කර කියා සිටියි.

ආගම් ප්‍රචාරය පිණිස ශ්‍රී ලංකාවට පැමිණ සිටින සියලු දෙනා මාසයක් ඇතුලත රටින් පිටව යා යුතු බව ද එම සංවිධානය පවසයි.

සංවිධානයේ නායකත්වයෙන් මහරගම පැවති රැළියකදීයි, එම ඉල්ලීම් කෙරුණේ.

පන් දහසකට ආසන්න ජනකායක් රැස්වීමට සහභාගි වෙමින් සිටි බව පවසන කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ්, මුළු නගරයම බෞද්ධ කොඩිවලින් සරසා තිබුන බව ද පවසයි.

ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගිය හැක්කේ සිංහල ජාතිය එකමුතුව, ශක්තිමත්ව නැගී සිටියහොත් පමණක් බව සමුළුවට එක්ව සිටි සිය ගණනක් බෞද්ධ භික්ෂූන් වහන්සේ ඇතුළු දහස් සංඛ්‍යාත ජනකාය ඇමතූ කථිකයන් අවධාරණය කළ බව ද බීබීසී වාර්තාකරු පවසයි.

'ආණ්ඩුවේ සහාය ලැබෙනවා'

මේ අතර බොදු බල සේනා සංවිධානයේ සාමාජිකයන් විසින් නවමනි පුවත්පතේ මාධ්‍යවේදියෙකු රඳවාගෙන පොලීසියට භාර දීම සහ බීබීසී මාධ්‍යවේදීන් දෙදෙනකුට හිරිහැර කිරීම පිළිබඳව ප්‍රකාශයක් කරන ශ්‍රී ලංකා වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකාවේ ආරක්ෂක බලධාරීන් එම ක්‍රියාමාර්ගය අනුමත කරන්නේ දැයි ප්‍රශ්න කරයි.

සාමාන්‍ය පුරවැසියන් පිරිසක් විසින් මාධ්‍යවේදියෙකු අත් අඩංගුවට ගෙන පොලීසියට භාර දුන් අවස්ථාවේ පොලීසිය එම පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගන්නා පියවර පැහැදිලි කළ යුතු බවයි, සංගමයේ ප්‍රධාන ලේකම් ලසන්ත රුහුණගේ බීබීසී සංදේශයට කියා සිටියේ.

ඔවුන් එසේ පියවරක් නොගන්නේ නම් ආණ්ඩුවත් බොදු බල සේනා සංවිධානයට සහාය දෙන බව තමන්ට නිගමණය කරන්නට සිදුවන බව ද ඔහු පැවසීය.

බොදු බල සේනා "තාලිබාන්" සංවිධානය ආරක්ෂක අමාත්‍යාංශය විසින් මූල්‍ය ආධාර සපයමින් පවත්වා ගෙන යන්නක් බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානී මංගල සමරවීර චෝදනා කොට තිබුණු නමුත්, එම සංවිධානය එය ප්‍රතික්ෂේප කරයි.

මෑත මාස කිහිපය තුල තමන්ට ප්‍රහාර එල්ල වූ බව බොහෝ මුස්ලිම් සහ ක්‍රිස්තියානි සංවිධාන පවසන අතර, එවැනි ප්‍රහාර තමන් අනුමත නොකරන බවයි, බෞද්ධ සංවිධාන පවසන්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.