ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් - ක්‍රිස්තියානි පූජක ප්‍රජාව

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 20 බදාදා - 15:08 GMT

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ දී සිදුවූ බවට පැවසෙන ජාත්‍යන්තර නීති උල්ලංඝන සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා බලපෑම් කරන ලෙස උතුරු නැගෙනහිර ක්‍රිස්තියානි පූජක ප්‍රජාව එක්සත් ජාතීන්ගේ මානව කොමිසමෙන් ඉල්ලා සිටිති.

මානව හිම්කම් කොමසාරිස්වරිය විසින් කොමිසමට දන්වා ඇති පරිදි මේ අර්බුදයෙන් සිදුව ඇති ගැටලුවලට විසදුම් සෙවීමට ශ්‍රී ලංකා රජයට ඕනෑකමක් නැති බවයි රෝමානු කතෝලික, එංගලන්ත සහ මෙතෝදිස්ත සභාවලට අයත් පූජකවරුන් සහ කන්‍යා සොහොයුරියන් එකසිය තිස්තුන් දෙනකු විසින් අත්සන් තබා එක්සත් ජාතීන් වෙත යවන ලද ලිපියක සඳහන් වන්නේ.

යුද්ධයේ අවසන් අදියරේදී රජය සහ එල්ටීටී සංවිධානය විසින් බරපතල ලෙස මානව හිමිකම් කඩකොට ඇති බව පවසන ක්‍රිස්තියානි පූජක ප්‍රජාව, එම සිද්ධීන්ට වගකිවයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට, සංහිඳියාව ඇතිකිරීමට සහ මානව හිමිකම් සුරැකීම පිණිස වන ක්‍රියාකාරී යෝජනාවක් මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිති.

එය පසුගිය වසරේ දහනව වැනි මානව හිමිකම් සැසිවාරයේදී සම්මත කරගත් යෝජනාවට වඩා ශක්තිමත් එකක් විය යුතු බවත් ඔවුහු කියා සිටිති.

උගත් පාඩම් හා සංහිඳියා ජනාධිපති කොමිසමේ ප්‍රධාන නිර්දේශ ක්‍රියාත්මක කිරීම රජය විසින් නොසලකා හැර ඇති බවයි පූජක ප්‍රජාව සිය ලිපියේ සඳහන් කොට තිබෙන්නේ.

බලය බෙදීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා කොමසාරිස්වරයකු පත් කිරීම, වන්දි ලබාදීම, යුද හමුදාව අත්පත් කරගෙන සිටින පෞද්ගලික ඉඩම් අයිතිකරුවන්ට ලබාදීම , ජන මාධ්‍ය හමුවේ ඇති සීමාවන් ඉවත් කිරීම සහ මියගිය පුද්ගලයන් සිහිපත් කිරීමට ඇති නිදහස ලබා නොදීම රජය විසින් නොසලකා ඇති කරුණු ලෙස සඳහන් කොට තිබේ.

දෙමළ ජනතාවගේ දේශපාලන, ආගමික සහ සංස්කෘතික අයීතීන් ක්‍රමානුකුලව විනාශ කරන බව කියා සිටින ඔවුන් දෙමළ ප්‍රජාව බහුල වශයෙන් ජීවත්වන ප්‍රදේශවල ඔවුන්ගේ ඉඩම් අයිතියද අහිමිකිරීමේ වැඩසටහනක් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත යොමු කරන ලද ලිපියේ වැඩිදුරත් සඳහන් කොට ඇත්තේ.

එසේම යුද්ධයේ අවසන් අදියරේදී තම වගකීම් ඉටුකිරීමට අසමත් වූ එක්සත් ජාතීන්ගේ නිලධාරීන් වගකීමෙන් බැඳෙන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලෙසත් උතුරු නැගෙනහිර පූජක ප්‍රජාව එක්සත් ජාතීන්ගේ මානව හිමකම් මණ්ඩලයෙන් ඉල්ලා සිටිති.

එක්සත් ජාතීන්ගේ නිලධාරීන් සිය වගකීම් ඉටුකිරීමට අසමත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර පරීක්ෂණ මගින්ද හඳුනාගෙන ඇති බව ඔවුහු පෙන්වා දෙති.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.