හිටපු අගවිනිසුරු සැමියා ඇප මත නිදහස්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 28 බ්‍රහස්පතින්දා - 12:03 GMT

පදවියෙන් නෙරපා හරිනු ලැබූ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ ස්වාමි පුරුෂ ප්‍රදීප් කාරියවසම්

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට දූෂණ චෝදනා මත අධි චෝදනා පත්‍ර භාරදීම කල් දමන මෙන් පැමිණිල්ල කළ ඉල්ලීමකට අනුමැතිය පළ කළ අධිකරණය, විත්තිකරු ඇප මත නිදහස් කිරීමට නියෝග කළේය.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමේ ගනුදෙනුවකදී රාජ්‍යයට රුපියල් කෝටි 39 කට අධික මුදලක පාඩුවක් සිදු කළ බවට අල්ලස් සහ දූෂණ කොමිසම විසින් ඔහුට විරුද්ධව චෝදනා පත්‍ර ගොනු කොට තිබිණ.

ප්‍රදීප් කාරියවසම් දෝෂාභියෝග විමර්ශනයෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පදවියෙන් නෙරපා හරිනු ලැබූ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ ස්වාමි පුරුෂයාය.

අදාළ චෝදනා පත්‍ර භාර ගැනීම පිණිස විත්තිකරු අධිකරණය ඉදිරියේ පෙනී සිටි නමුත් ඔහුට එරෙහි චෝදනා සංශෝධනය කරන මෙන් නීතිපතිවරයා දැනුම් දී තිබෙන බවයි, අල්ලස් කොමිසම අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් කියා සිටියේ.

විමතියට කරුණක්

කෙසේ නමුත් චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව එය සංශෝධනය කරන මෙන් නීතිපතිවරයා උපදෙස් දීම විමතියට කරුණක් බව සඳහන් කළ විත්ති පාර්ශවයේ නීතිවේදියා, නඩු විභාගයේදී එම තීරණයට එරෙහිව විරෝධතා මතු කිරීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

චෝදනා පත්‍ර භාරදීම කල් දමන මෙන් අල්ලස් කොමිසම කළ ඉල්ලීමට අනුමැතිය පළ කළ අධිකරණය, රුපියල් කෝටියක ශරීර ඇප දෙකක් මත සිය සේවාදායකයා නිදහස් කළ බව ඔහුගේ නීතිවේදී ගුණරත්න වන්නිනායක බීබීසී සංදේශයට පැවසීය.

නඩු විභාගය ලබන අප්‍රේල් 26 වැනි දින දක්වා කල් තැබිණ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.