ශ්‍රී ලංකාවේ 'යුද අපරාධ' පිළිබඳව තමිල්නාඩුවේ උද්ඝෝෂණ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 11 සඳුදා - 14:05 GMT
Students on hunger strike

ශ්‍රී ලංකාවේ යුද අපරාධ චෝදනා ලබා සිටින සියලු දෙනාට දඬුවම් කරන මෙන් ශිෂ්‍යයෝ ඉල්ලා සිටිති

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් ක්‍රියාකාරී ලෙස මැදිහත් වන ලෙස ඉන්දීය රජයට බලකරමින් උපවාසයක යෙදී සිටි උපාධි අපේක්ෂකයන් පිරිසක් පොලිසිය විසින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට විරෝධය පාමින් සිසු සිසුවියන් තමිල්නාඩු අගනුවර උද්ඝෝෂණයක යෙදී සිටියහ.

"ශ්‍රී ලංකාවේ යුද්ධයේ අන්තිම කාලේදී යුද අපරාධ කරපු හැම දෙනාටම, ජනාධිපති රාජපක්ෂ ඇතුළු හැම දෙනාටම, ජාත්‍යන්තර අපරාධ අධිකරණයකින් දඬුවම් දෙන්න ඕනේ. ඒකයි අපි ඉල්ලන්නේ," උද්ඝෝෂණයේ යෙදී සිටි එක් ශිෂ්‍යයෙක් පැවසීය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා විසින් සිදු කරන ලදැයි පැවසෙන යුධ අපරාධ පිලිබඳව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සහතික කිරීම් වස් ඉන්දීය ආණ්ඩුව ක්‍රියාකාරීව මැදිහත්වීම, දෙමළ ඊලාම් රාජ්‍යයක් පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්වීම සහ ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීම ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම්.

දෙමළ ජනතාව 'නොසලකා හැරලා'

"ඕස්ට්‍රේලියාවෙදි ඉන්දියානුවෙක් මැරුනොත්, අගමැතිතුමා වහාම ඕස්ට්‍රේලියාවෙ අගමැතිතුමාට ලියුමක් ලියනවා. ඒත් දෙමළ මිනිස්සු මරණ කොට, තමිල්නාඩුවේ ධීවරයෝ මරණ කොට, එයා මොනවත් කරන්නේ නෑ."

උද්ඝෝෂණයේ යෙදී සිටින ශිෂ්‍යයෙක්

"අපි දිගටම උද්ඝෝෂණ කරනවා. ජාත්‍යන්තර උදවු ඇතිව වෙනම දෙමළ ඊලාම් රාජ්‍යයක් පිහිටුවන තුරු අපි දිගටම උද්ඝෝෂණ කරනවා," තවත් ශිෂ්‍යයෙක් පැවසීය.

යුද අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ක්‍රියාකාරීව මැදිහත් වන ලෙස ඉන්දීය රජයට බලපෑම් කිරීම සඳහා චෙන්නායි නුවර ලොයොලා සරසවියේ සිසුන් මාරාන්තික උපවාසයක් ආරම්භ කලේ මීට පස් දිනකට ඉහතදී.

"දකුණු ඉන්දියානුවන්ගේ, විශේෂයෙන්ම දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන ඉන්දියාවේ ආණ්ඩුව තැකීමක් කරන්නේ නෑ. ඕස්ට්‍රේලියාවෙදි ඉන්දියානුවෙක් මැරුනොත්, අගමැතිතුමා වහාම ඕස්ට්‍රේලියාවෙ අගමැතිතුමාට ලියුමක් ලියනවා," යන්න තවත් ශිෂ්‍යාවකගේ අදහසයි.

"ඒත් දෙමළ මිනිස්සු මරණ කොට, තමිල්නාඩුවේ ධීවරයෝ මරණ කොට, එයා මොනවත් කරන්නේ නෑ," ඇය වැඩිදුරටත් කියා සිටියාය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.