ඉඩම්වලට ටාටා සමාගමේ වන්දිය 'ප්‍රමාණවත් නෑ'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 12 අඟහරුවාදා - 13:22 GMT
TATA company

නිවාස ලබාගැනීමට අකමැති ජනතාවට ඉඩම් පර්චසයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 43 ක වන්දියක් ගෙවන බව ද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් විය

කොළඹ කොම්පඤ්ඤ වීදියේ අක්කර හතක භූමි භාගයක් ඉන්දියාවේ ටාටා සමාගමට පවරා ගැනීම හමුවේ ඉඩම් අහිමිවන ප්‍රදේශවාසීන්ට වසර තුනක් ඇතුලත වෙනත් නිවාස ලබා දිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

එසේ නිවාස ලබාගැනීමට අකමැති ජනතාවට ඉඩම් පර්චසයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 43 ක වන්දියක් ගෙවන බව ද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් විය.

අගවිනිසුරු මොහාන් පීරිස් එම නියෝගය කළේ, ටාටා සමාගමට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් පවරා ඇති නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ.

එහෙත් තමන්ට ලබා දෙන මෙම වන්දි මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව අධිකරණය ඉදිරියේ නිහඬ විරෝධයක නිරතව සිටි ප්‍රදේශවාසීහු පැවසූහ.

අපහාස කරන නීතිවේදීන් 'ඉවත් කරනවා'

ප්‍රදේශයේ ඉඩම් පර්චසයක් මේ වන විට ලක්ෂ 80 ක් හෝ 90 කට අලෙවි කෙරෙන බවයි එක් ප්‍රදේශවාසියෙක් බීබීසී සංදේශයට කියා සිටියේ.

නඩු විභාගය හමාරයේ අගවිනිසුරුවරයා නඩුවේ නියෝගය සටහන් කිරීමට සූදානම් වූ අවස්ථාවේ පැමිණිල්ලේ නීතිවේදීන් දෙදෙනා අධිකරණයෙන් නැගිට යාමට සූදානම් වූ අවස්ථාවේ ප්‍රකාශයක් කළ අගවිනිසුරුවරයා, අධිකරණයට අපහාස වන අන්දමින් හැසිරෙන නීතිවේදීන් වෘතියෙන් ඉවත් කිරීමට සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සහ පරමන් කාසිම් යන නීතිවේදීන් අමතමිනුයි, අගවිනිසුරුවරයා එම අනතුරු ඇඟවීම කළේ.

ඉන් අනතුරුව අගවිනිසුරුවරයා නඩුවේ නියෝගය සටහන් කළේය.

වැඩිදුර නඩු විභාගය අප්‍රේල් 04 වැනි දිනට කල් තැබිණ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.