මානව හිමිකම් මණ්ඩල යෝජනාව 'බලවත් කරන්න'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 14 බ්‍රහස්පතින්දා - 16:42 GMT

යාපනයේ සරසවි සිසු උද්ඝෝෂණයකට පොලිසිය පහර දුන් අවස්ථාවක්

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ගෙන එනු ලබන යෝජනාව වඩාත් ශක්තිමත් කරන ලෙස රට තුළ මෙන්ම රටින් පිටතද මානව හිමිකම් සංවිධාන සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ඉල්ලා සිටිති.

ජාත්‍යන්තර යාන්ත්‍රණ දුර්වල වන අතර ශ්‍රී ලංකාවේ බල අධිකාරය සහ නීතියේ ආධිපත්‍යය අතර පැවතිය යුතු පරතරයේ අඩුවක් ඇති බවයි දමිළ ජනතාව සඳහා වන සර්ව පාක්ෂික බ්‍රිතාන්‍ය මන්ත්‍රී කණ්ඩායම පවසන්නේ. එසේ හෙයින්, ශ්‍රී ලංකාවේ යුද ගැටුම සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාව ඔවුහු අවධාරණය කරති. එහිදී යුද අපරාධ චෝදනා, මානව වර්ගයාට එරෙහි අපරාධ හා දෙමළ ජනතාවට එරෙහි වර්ග සංහාරක අපරාධද විභාග කළ යුතු බවයි බ්‍රිතාන්‍ය මන්ත්‍රී වරුන්ගේ ඉල්ලීම.

වර්ධනීය පියවරක්

මේ අතර, ස්විට්සර්ලන්තය මූලස්ථාන කොටගත් මානව හිමිකම් සඳහා වන ජාත්‍යන්තර සේවාව හෙවත් ISHR සංවිධානය ප්‍රකාශ කළේ ඇමරිකා එක්සත් ජනපදයේ අනුග්‍රාහකත්වයෙන් ගෙන එනු ලබන යෝජනාව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් රැකීමෙහි ලා වර්ධනීය පියවරක් බව. ඒ කෙසේ වෙතත් ඊළඟ පියවර විය යුත්තේ, ශ්‍රී ලංකාවේ යුද වැදි දෙපාර්ශවය විසින් ම සිදු කරන ලදැයි චෝදනා කැරෙන යුද අපරාධ සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම බවයි, ISHR අධ්‍යක්ෂ ෆිල් ලින්ච් බීබීසී සංදේශයට කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ රජයට වර්ග සංහාර චෝදනා එල්ලවු ලන්ඩන් විරෝධතාවක්

ශ්‍රී ලංකාවේ සිදු කැරෙන මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් රජයේ වගකීම එක්සත් ජාතීන් හමුවේ හෙළිදරව් කරන රටේ මානව හිමිකම් ක්‍රියාධාරීන්ගෙන් පලිගැනීමේ ක්‍රියාවලියක් දියත් වී ඇතැයි අනතුරු අඟවන ISHR සංවිධානය, එය හඳුන්වන්නේ 'ජාත්‍යන්තර මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍යයට පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් එරෙහි ප්‍රහාරයක්' ලෙසින්.

නිසියාකාර විභාගයක් ඉල්ලා ජිනීවා නුවරට පැමිණ සිටින විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් හා මානව හිමිකම් ක්‍රියාධාරීන් අත් අඩංගුවට ගැනීමේ සැලසුම් පිළිබඳව පළවන වාර්තා කෙරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුකොට ඇති බවත් මානව හිමිකම් සඳහා වන ජාත්‍යන්තර සේවාවේ අධ්‍යක්ෂ ෆිල් ලින්ච් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආණ්ඩුවට කල් දීමක්

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ වනවිට එළි දක්වා ඇති යෝජනා කෙටුම්පත ආණ්ඩුවට තවත් කාලය ලබා දෙන එකක් බවයි උතුරු නැගෙනහිර ජීවත්වන මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් ජාත්‍යන්තර ප්‍රජාව වෙත යවන ලිපියක සඳහන් කොට ඇත්තේ.

මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරියද මෙවර ජිනීවා සැසි වාරය අමතා ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් යෝජනා කළ බව සිහිපත් කර දෙන එම ලිපිය, එසේ නොකොට උගත් පාඩම් කොමිසම් නිර්දේශ ක්‍රියාත්මක කරන මෙන් රජයට තව දුරටත් කල් දීම අවාසනාවන්ත බව සඳහන් කරයි.

වර්ග සංහාරයක්

දමිළ ජනතාවට එරෙහිව භූමියේ සිදුවන්නේ අඛන්ඩ හා ක්‍රමානුකූල වර්ග සංහාරයක් බවයි උතුරු නැගෙනහිර දමිළ පුරවැසි කණ්ඩායම පවසන්නේ. 2012 දී සම්මත කොටගත් යෝජනාව මේ යථාර්ථය සැලකිල්ලට ගෙන නැතැයි පවසන ඔවුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා රජයේ යුද ජයග්‍රහණයෙන් අනතුරුව දමිළ ජනතාව විඳින දුක් ගැහැට සමනය කර ලන්නට නම් උගත් පාඩම් කොමිසමේ රාමුවෙන් එපිටට යා යුතුව ඇති බවයි.

වැදි ජනතා අයිතිය


මේ අතර ගෝත්‍රික හා ආදිවාසී ජනතා උරුමය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපාරයක්, වැදි ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීමට මැදිහත් වන ලෙස ලිඛිත ඉල්ලීමක් මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කොට තිබේ. වන්නියලැත්තන් හට ජීවත් වීමටත්, යැපීම සඳහා දඩයමේ යාමටත්, ඔවුන්ගේ නිජබිමට අයත් මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ වනපල රැස් කර ගැනීමටත් ඇති අයිතිය පිළි ගැනීමට ශ්‍රී ලංකාවේ රජයට බල කරන ලෙසයි සර්වයිවල් ඉන්ටර්නැෂනල් (Survival International) ජාත්‍යන්තරය යෝජනා කොට ඇත්තේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.