යුද අපරාධ චෝදනා රැගත් තවත් ඡායාරූප

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 15 සිකුරාදා - 13:42 GMT
Sri Lanka army

ශ්‍රී ලංකා රජයේ සන්නද්ධ සේනා වෙත යුද අපරාධ චෝදනා එල්ල වූ පළමු වතාව මෙය නොවේ

ශ්‍රී ලංකා රජයට යුද අපරාධ චෝදනා එල්ල වන ඡායාරුපයක් සහ වීඩියෝ පටයක් බීබීසී ය ඇතුලු තවත් ජනමාධ්‍ය වෙත ලැබී තිබේ.

මෙතෙක් හෙළි නොවූ සේ සැලකෙන මෙම ඡායාරූපය බීබීසී යට ලබා දී ඇත්තේ ලන්ඩනය මුලස්ථාන කොට ගත් ජගත් දමිළ මුළුව (GTF) විසින්.

අත් අඩංගුවේ පසුවන දෙමළ යයි සැක කළ හැකි පිරිසකගේ දෑත් පසුපසට බැඳ තිබෙන අකාරය මෙම ඡායාරුපයෙන් පෙන්නුම් කැරේ.

එම කණ්ඩායම අතර පිරිමි දරුවකුද සිටී.

වීඩියෝ පටයෙන් දැක්වෙන්නේ අත්අඩංගුවේ වන පිරිසකට වෙඩි තබන ආකාරයයි.

හිසට වෙඩි වැදී මිය ගිය පිරිමි දරුවකු එහි දක්නට සිටී.

වීඩියෝ පටයේ දැක්වෙන පරිදි ඡායාරූපයේ දැක්වෙන දරුවා යුද හමුදා අත් අඩංගුවේ බවට සැක කෙරෙන බව ජගත් දමිළ මුළුවේ ප්‍රකාශක සුරේන් සුරේන්දිරන් සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.

'අභූත චෝදනා'

ශ්‍රී ලංකා රජයේ හමුදා නිලධාරියකුගෙන් මෙම ඡායාරූපය සහ වීඩියෝ පටය තම සංවිධානය විසින් ලබා ගත් අතර කිසිදු මුදල් ගෙවීමක් සිදු නොකළ බවයි GTF ප්‍රකාශකයා සඳහන් කළේ.

තමිල්නාඩු රුපවාහිනිය ඔස්සේ ඡායාරූපය හා වීඩියෝ දර්ශන මේ වන විටත් විකාශනය කර තිබේ.

තමන් වෙත ලැබුණු ඡායාරූප වල සත්‍ය අසත්‍යතාව දැනගත හැකි වන්නේ අපක්ෂපාතී පරීක්ෂණයකින් බවයි සුරේන් සුරේන්දිරන් ඒවායේ නිර්ව්‍යාජ භාවය පිළිබඳව බීබීසීය කළ විමසීමට පිළිතුරු දෙමින් කියා සිටියේ.

එහෙත් ගෝලීය දෙමළ මුළුව නම් "බෙදුම්වාදී ව්‍යාපාරය" හමුදාවට එරෙහිව ඉදිරිපත් කරන "අභූත චෝදනා" අතරින් එකක් ලෙසිනුයි, ශ්‍රී ලංකා හමුදාව මේ චෝදනාව විග්‍රහ කරන්නේ.

"හමුදාව පකීර්තියට පත්කිරීමේ අරමුණින්" ඉදිරිපත් කෙරෙන මෙම වාර්තාවේ කිසිදු සත්‍යයක් නැති බව බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය, එවැනි කිසිදු සිදුවීමක් සිදු නොවූ බව අවධාරණය කරයි.

ප්‍රභාකරන්ගේ කනිටු පුත් බාලචන්ද්‍රන් ඝාතනය වීමට පෙර අත් අඩංගුවේ ඉන්නා බව පෙනී යන ඡායාරූප කිහිපයක් මෙයින් මසකට පමණ ඉහතදී බ්‍රිතාන්‍ය සහ ඉන්දීය ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කැරුණි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.