දැන්වත් පොරොන්දු ඉටු නොකලොත් තත්ත්වය බරපතල වේවි - ටීඑන්ඒ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 22 සිකුරාදා - 11:07 GMT
MA Sumanthiran, MP

දැන්වත් යෝජනාවේ කරුණු ක්‍රියාත්මක නොකළහොත් ජාත්‍යන්තර ප්‍රජාව දැනටත් වඩා ආණ්ඩුවට සතුරු විය හැකි බව මන්ත්‍රීවරයා පවසයි

යුද්ධයෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාවක් සම්මත වීමට හේතුව බව පවසන දෙමළ ජාතික සන්ධානය මින් අනතුරුව හෝ පොරොන්දු ඉටු නොකළහොත් තත්ත්වය වඩාත් බරපතල විය හැකි බවට අනතුරු අඟවයි.

2009 මැයි මාසයේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ ජනාධිපති රාජපක්ෂ විසින් සහ ඒ මාසයේම ජිනීවා නුවර පැවති මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු ගණනාවක්ම දුන් බව දෙජාස පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් පෙන්වා දෙයි.

බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව සඳහන් කළ මන්ත්‍රීවරයා, ආරක්ෂක හමුදා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කළ අවස්ථා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම, බලය බෙදා හරිමින් දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම සහ 2009 අවසානය වන විට නැවත පදිංචි කිරීම් අවසන් කිරීම බව ඒ පොරොන්දු අතර තිබූ බව පෙන්වා දෙයි.

"ඒ පොරොන්දු තුනෙන් එකක්වත් කරලා නෑ," ඔහු පැවසීය.

අඩුම තරමින් දැන්වත් ජාත්‍යන්තර සමාජය සමඟ එකමුතුව ක්‍රියාකොට යෝජනාවේ කරුණු ක්‍රියාත්මක කරන මෙන් තම පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.